අරුන්දිකගේ මැර පුතා වෙනුවෙන් පෙනී සිටි පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට ගෙදර යන්න වෙයි
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ නියෝගයක් මත තමන්ට සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පෙබ. 5 වන දා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් තිස්ස හේවාවිතාන මහතා නියෝග කළ බව ය.
“සභාපතිවරයා වශයෙන් මම මගේ සියලු වගකීම් නිසියාකාරව ඉටු කළා. අනෙකුත් වසර හා සසඳන විට පසුගිය වසරේ අධිකාරිය ඉහළ ආදායමක් උපයලා තියෙනවා. ඒ වගේ ම ආදායම දෙගුණ කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් මේ වසරේ ක්‍රියාත්මක කිරීමට ත් අපි සැලසුම් කර තිබෙනවා. අවාසනාවන්ත ලෙස මට ඉල්ලා අස්වන ලෙස නියෝග කළා. (රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීම සඳහා පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයකින් පිරිසක් පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන්…) කෙරෙන විමර්ශනයෙන් පස්සේ රජය මාව නැවත පත් කළොත් මම මගේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටු කරනවා,” ඔහු පැවසීය.
රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සඳහා පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් පරිහරණය කර ඇති බවට පසුගිය දා චෝදනා එල්ලවී තිබිණි.