ෆේස්බුක් – ටික්ටොක් ඉන්ස්ටර්ග්‍රෑම් ගැන කොමිසම සොයයි
මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන ජන මතය වෙනස් කිරීම සඳහා අසත්‍ය සහ ද්වේශ සහගත අයුරින් ප්‍රචාරක කටයුතු සිදු කරන්නේද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව දැඩි අවධානයක් යොමු කර ඇතැයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල පැවසුවාය.
කෘත්‍රිම බුද්ධිය යොදාගෙන සිදු කරන ප්‍රචාරණ කටයුතු සම්බන්ධව සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවට විශේෂ තාක්ෂණ ක්‍රමවේදයක් නොමැති වුවද ඒ සම්බන්ධව කටයුතු කරන වෙනත් ආයතනවල සහයෝගය ඇතිව කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව සොයා බලන බවද ඇය කියා සිටියාය.
මෙවර ජනාධිපතිවරණයේදී ‘ෆේස්බුක්’ සමාජ මාධ්‍ය ජාලයට වඩා ටික් ටොක් හා ඉන්ස්ටර්ග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙන බව කී ඇය යොවුන් පුරවැසියන්ගේ ඡන්දය තීරණාත්මක සාධකයක් බැවින් එම පිරිසෙන් බොහෝ දෙනකු ඡන්දය ලබාදෙන පුද්ගලයා තීරණය කරන්නේ සමාජ මාධ්‍යවල පළවන දේවල් මත බවත්, එබැවින් සමාජ මාධ්‍ය තුළ මඩ ගැසීම්, වැරැදි ප්‍රචාර හා විකෘති පුවත් පළ කිරීම පාලනයට කොමිසම සැලසුම් යොදා ඇතැයිද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරිය පැවසුවාය.
විශේෂයෙන් නිහඬ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය තුළින් කෙරෙන ප්‍රචාරය ඉතා බරපතළ බවත්, එම නිසා මැතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය නියාමනයට වෙනම කණ්ඩායමක් යොදවන බවත් කී ඇය, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරන බවද සඳහන් කළාය. තවද එම වාර්තා සමාජ මාධ්‍ය නියාමන කමිටුවට යොමු කෙරෙන බවද ඇය කීවාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊ (09 වැනිදා) පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඇය මේ බව පැවසුවාය.