රාජපක්ෂලා සහ ලොව ප්‍රබලයන්ගේ වංචා හෙළිකළ පැන්ඩෝරා පේපර්ස් ගැන ඔබ දැනගත යුතු දෑ
ඉතිහාසයේ මෙතෙක් සිදුවුණු විශාලතම වංචා පිළිබඳ රහසිගත ලියකියවිලි කාන්දුව, එහෙම නැත්නම් පැන්ඩෝරා පේපර්ස් පිළිබඳව ලෝකය පුරා ඉහළ දේශපාලන තන්ත්‍රයේ සිට සාමාන්‍ය පුරවැසියන් දක්වා මුලු මහත් ලෝකයක් සිටින්නේ අවධියෙන්.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා ත් දේශපාලඥයන්, ධනවතුන් සහ බලය හිමි පුද්ගලයන් හා සම්බන්ධ කලු සල්ලි වංචා, විදෙස් බැංකුවල නීතිවිරෝධීව මුදල් ආයෝජනය කිරීම, බදු නොගෙවා සැඟවීම ආදී මුදල් වංචා කටයුතු නිරන්තරයෙන් සිදුවෙනවා. ඕනැම රටක මෙන් මෙරටත් අපිට එවැනි කටයුතු ඕනෑතරම් අසන්නට ලැබෙනවා.
ඉන් සමහරක් ධනය සහ බලය හේතුවෙන් යටපත් වනවිට තවත් සමහරක් විවිධාකාර කටකතා ආකාරයෙන් සමාජය පුරා පැතිරෙනවා. ඒ කිසිවක නීත්‍යානුකූල තත්වය පිළිබඳ රහසිගත තොරතුරු ලෝකයට විවෘත වීම සිදුවන්නේ බොහෝම කළාතුරකින්.

පැන්ඩෝරා පේපර්ස් කියන්නේ ඒ ආකාරයට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා රටවල ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ධනවතුන් ආදි පුද්ගලයන් සිය දහස් ගණනකගේ නීත්‍යානුකූල නොවන බිලියන ගණනක මුදල් වංචා හෙළිකරගත් ගවේෂණාත්මක ලිපි කාන්දුවීමක්. ලිපිගොනු මිලියන 12 කින් සමන්විත ලෝකයේ සිදුවුණු විශාලතම හෙළිදරව්ව ! විවිධ රාජතාන්ත්‍රිකයන්ගේ සැඟවුණු වත්කම් මෙලෙස නොසිතූ අයුරින් හෙළිදරව් වීම ලොව පුරා කැළඹිලි ඇතිකිරීමට හේතු වී තිබෙනවා.
මේ වනවිට නිකුත්කර ඇති සහ මෙම සතියේ ප්‍රකාශයට පත්කෙරෙන පැන්ඩෝරා පත්‍රිකාවලට අදාල තොරතුරු සොයාගැනීම සඳහා රටවල් 117 ක මාධ්‍යවේදීන් 600කට අධික ප්‍රමාණයක් ප්‍රධාන මූලාශ්‍ර 14 ක් ඔස්සේ මාස ගණනාවක් පුරා ගවේෂණය කරනු ලැබ තිබෙනවා. වොශින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) විසින් හෙළිදැක්වූ පැන්ඩෝරා පේපර්ස් විමර්ශනය සඳහා සහය දැක්වූ සංවිධාන ගණන 140 ටත් අධිකයි. ඔවුන් මෙය හඳුන්වන්නේ ලොව විශාලතම විමර්ශණාත්මක කාර්‍යය ලෙසින්.

පැන්ඩෝරා පේපර්ස් විසින් ආන්දෝලනාත්මක හෙළිදරව් කර ඇත්තේ මොනවා ද ?
කලින් සඳහන් කළා සේම මූලාශ්‍ර 14ක් ඔස්සේ ගවේෂණය කර ලබාගත්තු සම්පූර්ණ ලිපිගොනු සංඛ්‍යාව 11,903,676 ක්. ආසන්න වශයෙන් මිලියන 12ක්. ඒ වගේම පරිගණක දත්ත ටෙරාබයිට් 2.94 ක් මෙයට ඇතුළත්.
හෙළිදරව් කරගත් සම්පූර්ණ තොරතුරු ආසන්න වශයෙන් පෙළගැස්වූ විට ලියකියවිලි මිලියන 6.4 ක්, ඡායාරූප මිලියන 2.9 ක්, ඊමේල් මිලියන 1.2 ක්, එක්සෙල් දත්ත ඇතුරුම් (Spreadsheets) මිලියන 0.5 ක් සහ වෙනත් තොරතුරු ලක්ෂ 8.8 ක් පැන්ඩෝරා පේපර්ස් හි අන්තර්ගතයි. මීට පෙර මෙවැනිම වංචා හෙළිකරගත්තු පැනමා පේපර්ස්, ඕෆ්ශෝර් පේපර්ස් සහ පැරඩයිස් පේපර්ස් ලිපිගොනුවලට සාපේක්ෂව තොරතුරු මිලියන ගණනක් පැන්ඩෝරා පේපර්ස් තුළ ඇතුළත් වෙනවා.

පැන්ඩෝරා පේපර්ස් හරහා මේ වනවිට හෙළිදරව් කර ඇති ආන්දෝලනාත්මක තොරතුරු අතර,
- ජෝර්දානයේ රජුගේ රහසිත සමාගම් හරහා එක්සත් රාජධානියේ සහ ඇමරිකාවේ දේපළ සඳහා පවුම් මිලියන 70ක් වියදම් කිරීම,
- අසර්බයිජානයේ ප්‍රධාන රදළ පවුලක් එක්සත් රාජධානියේ පවුම් මිලියන 400කට වැඩි දේපළ ගණුදෙනුවක් සඳහා මැදිහත් වීම,
- තමන්ගේ විදෙස් ආයෝජන සමාගම ප්‍රකාශයට පත් නොකළ චෙක් ජනරජයේ ජනාධිපතිවරයා ඩොලර් මිලියන 12 ක ප්‍රංශ විලා දෙකක් මිලදී ගැනීම,
- සෘජුව නම සඳහන් නොවුණත්, රුසියන් ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගේ සමීපතමයන් සතුව ඇති රහසිගත වත්කම්,
- වසර 20ක් පුරා කෙන්යානු ජනාධිපතිගේ පවුලට රහසිගත විදෙස් ආයෝජන සමාගමක් හිමිවූ ආකාරය, සහ
- ශ්‍රී ලංකාවේ නිරූපමා රාජපක්ෂ තම ස්වාමියා සමග ව්‍යාජ සමාගමක් හරහා ඩොලර් මිලියන 160 කට අධික වත්කමක් තමා සතුකරගැනීම සහ ලන්ඩන්, සිඩ්නි දේපළ මෙන්ම කලාකෘති මිලදීගැනීම
ආදී වශයෙන් රටවල් 90 ක පුද්ගලයන් 330 කට වැඩි සංඛ්‍යාවක් බදු ගෙවීම පැහැරහැරීම සඳහා ව්‍යාජ සමාගම්වල මුදල් හැංගූ ආකාරය සහ තමන්ගේ රටට වත්කම් හෙළිදරව් වීම වැලැක්වීම සඳහා කළ විදෙස් සමාගම්වල ආයෝජනය කිරීම් ප්‍රධාන වශයෙන් පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කරනු ලැබුවා.

එමෙන්ම ප්‍රකට ගායිකාවක් වන ශකීරා සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචින් තෙන්දුල්කාර්ගේ නීත්‍යානුකූල නොවන මුදල් විශුද්ධිකරණයන් පිළිබඳවද පැන්ඩෝරා පේපර්ස් හි ඇතුළත්ව ඇතැයි ICIJ හෙළිදරව් කර සිටියා.
මේ පිළිබඳව එක්සත් ජනපදයේ ගෝලීය මූල්‍ය අඛණ්ඩතාව පිළිබඳ නිළධාරී ලක්ෂ්මි කුමාර් කියා සිටියේ මෙම පුද්ගලයන් සියල්ලම වාගේ තමන් මුදල් උපයාගත් ආකාරය සහ මුදල් වත්කම් තමන්ගේ රටට හෙළිදරව් වීම වැලැක්වීමට ව්‍යාජ සමාගම් සහ විදෙස් සමාගම්හි එම මුදල් අයෝජනය කළ බවයි.
පැන්ඩෝරා පේපර්ස් හි සඳහන්වන විදෙස් ආයෝජන සමාගම් නැතිනම් Offshore කියන්නේ මොනවා ද ?
පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් කරගත් ප්‍රධානම වංචාමය ස්වාභාවය වන්නේ විවිධ පුද්ගලයන් තම රටෙන් පිටත විදෙස් ආයෝජන සමාගම්වල කරන ලද රහසිගත හෝ හිමිකාරිත්වය සැඟවුණු මුදල් ආයෝජනයන්. බොහෝ සංකීර්ණ සමාගම් ජාලයක් වන ඒවායේ අයිතිකරුවන් හෝ හිමිකරුවක් සොයාගැනීම ඉතා අපහසුයි.
උදාහරණයක් වශයෙන් වෙනත් රටක කෙනෙකුට එක්සත් රාජධානියේ දේපළ තිබිය හැකියි. නමුත් එම දේපළවල අයිතිය එක් ලියවිල්ලක් මගින් තමන්ගේ නමට නොලියා, කුඩා කොටස් ලෙසින් සමාගම් ගණනාවකට අයිති ලෙසට පෙන්වන්න පුලුවන්. අවසානයේදි එසේ සමාගම් ගණනාවක කුඩා කොටස් සියල්ල ඇතුළුව සම්පූර්ණ දේපළෙහි අයිතිකරු එක් පුද්ගලයෙක් හෝ සමාගමක්.
මෙම සමාගම් අලුතෙන් පිහිටුවීම ඉතා පහසු කටයුත්තක් මෙන්ම ඒවායේ අයිතිකරුවන් සොයාගැනීම සම්බන්ධව නීති ඉතාමත් තදයි. ඒ වගේම මෙසේ සිදුකරන්නට බලපාන ප්‍රධානම කාරණය එම සමාගම්වලට අදාල බදු ප්‍රමාණය ඉතාම අඩුයි හෝ බදු නොමැති තරම්.
මෙසේ රහසිගතව සමාගම් පිහිටුවන රටවල් මෙයැයි කියා නිශ්චිත ලැයිස්තුවක් නොමැති වුවත්, වඩාත් ප්‍රසිද්ධියට පත්වී තිබෙන්නේ කේමන් දූපත්, බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්, ස්විට්සර්ලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල්.

එසේ මුදල් අනන්‍යතාවය සැඟවීම සහ බදු නිදහස් රටවල මුදල් ආයෝජනයේ නීතිමය තත්වය කොහොමද ?
නීතියේ තිබෙන කුඩා කුඩා හිඩැස්වලින් රිංගා යමින් මුදල් හැංගීම හෝ මුදල්වලට අදාල බදු අයිතිකරුගේ මුල් රටට නොගෙවා සමාගම් හරහා මුදල් ආයෝජනය සෘජුවම නීතිවිරෝධී නොවුණත් එය අතිශය සදාචාරවිරෝධි කරුණක්.
අපරාධවලින් තම ධනය ආරක්ෂා කරගැනීමට සහ අස්ථාවර රජයන්ගෙන් තම ධනය ආරක්ෂා කරගැනීම වැනි සාධාරණ හේතු සඳහා යම් යම් පුද්ගලයන් නීත්‍යානුකූලව විදෙස් ආයෝජනයන් සිදුකළත් නීතිවිරෝධී අයුරින් වත්කම් සහ අනන්‍යතා සඟවා මෙසේ ආයෝජනය කිරිම අපරාධයක් ලා සලකනු ලබනවා.
පැනමා පේපර්ස් පවසන්නේ විදෙස් සමාගම්හි ආයෝජනය නිමාකළ යුතු බවක් නොවෙයි, රහසිගතව නීත්‍යානුකූල නොවන මුදල් එලෙස ව්‍යාජ සමාගම් හරහා විදෙස් රටවලට පොම්ප කිරීම නැවැත්විය යුතු බවයි.
පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිවුණු ව්‍යාජ සමාගම් හරහා සැඟවූ මුදල් ප්‍රමාණය කොපමණ ද ?
Shell Company එහෙමත් නැත්නම් ව්‍යාජ සමාගම් පිහිටුවීම සඳහා කිසිදු කාර්‍ය මණ්ඩලයක් හෝ කාර්‍යසේවකයන් පිරිසක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඉහළ රහස්‍යභාවයක් ඇති රටක නාමිකව සමාගමක් පිහිටුවීම. එම සමාගම ලියකියවිලි සඳහා පමණක් භාවිතා වන අභිරහස් සමාගමක්.

එසේ ව්‍යාජ සමාගම් පවත්වාගෙන යාම සඳහා උපදේශන සේවා ලබාදෙන විශේෂඥ සමාගමක් සඳහා මුදල් ගෙවීමෙන් ඉතා පහසුවෙන් ව්‍යාජ සමාගමක් පිහිටුවිය හැකියි. නාමික අධ්‍යක්ෂක මණ්ඩලයකගේ නම් පමණක් ඇතුව, අයිතිකරු පිළිබඳ තොරතුරු සඟවා මෙම සමාගම් ආරම්භ කිරීමට පුලුවන්.
කෙසේහෝ පැන්ඩෝරා පේපර්ස් පවසන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.6 සිට ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 32ක් දක්වා ප්‍රමාණයක් මෙසේ ලෝකය පුරා සඟවා ඇති බවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මෙසේ මුදල් නීතිවිරෝධීව සැඟවීම මගින් වාර්ෂිකව ලොව පුරා රාජ්‍යයන්ට ඇමරිකන් ඩොලර් මිලියන 600ක් පමණ අහිමිවන බවයි. එමෙන්ම ඔවුන් කියා සිටින්නේ මෙසේ නීතිවිරෝධීව සැඟවී යන්නේ රටක අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආර්ථික තත්වයන්ට අයිතිවාසිකම් කීමට ඇති හැකියාව බවයි.
පැන්ඩෝරා පේපර්ස් හි ප්‍රධාන චෝදනාව එංගලන්තයට ?
එක්සත් රාජධානියේ සහ එක්සත් රාජධානියට අයත් දේපළ අයිතිය අයිතිකරුවන් නොදන්නා සමාගම්වලට දීම සම්බන්ධව මේ වනවිට ඔවුන්ට චෝදනා එල්ලවෙමින් පවතිනවා. එසේ දේපළ වල අවසාන අයිතිකරුවන් ප්‍රකාශයට පත්කළ යුතුයැයි 2018 දී එංගලන්ත රජය විසින් කෙටුම්පතක් නිකුත් කළ ද, එය තවමත් බලාත්මක කර නැහැ.
2019 එංගලන්ත පාර්ලිමේන්තු වාර්තාවේ කියා සිටියේ එක්සත් රාජධානිය මුදල් විශුද්ධිකරණය කරන්නන් සහ නීතිවිරෝධී දේපළ සඟවන්න කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගන්නා රටක් ලෙසයි.

පැන්ඩෝරා පේපර්ස් සහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සම්බන්ධය
පැන්ඩෝරා පේපර්ස් හරහා ලොව පුරා දේශපාලඥයන්, ධනපතීන් සහ බලවතුන්ගේ වත්කම් හෙළිවීමත් සමගම ශ්‍රී ලංකාවේ නාමය එම ලැයිස්තුවට ඇදී ගියේ ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක සහ රාජපක්ෂ පවුලේ සාමාජිකාවක වන නිරූපමා රාජපක්ෂගේ බදු වංචා හෙළිවීමත් සමගයි.

ICIJ හෙළිදරව් කළ ආකාරයට ඇය සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කර තිබෙනවා. නඩේසන් වෙනත් බදු සහන සහිත රටවල සමාගම් විවෘත කර ඒ හරහා ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කරන විදෙස් සමාගම්වලින් උපදේශක කොන්ත්‍රාත්තු ලබාගැනීමට සහ වටිනා කලාකෘති මිලට ගැනීමට කටයුතු කළ බව ත් පැන්ඩෝරා පත්‍රිකා හි සඳහන්.
2018 දී එසේ නිර්මාණය කළ ව්‍යාජ සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් විසින් චිත්‍ර සහ වෙනත් දකුණු ආසියාතික කලා නිර්මාණ 31 ක් ස්විට්සර්ලන්තයේ අධි ආරක්ෂිත ගබඩාවක් වන ජිනීවා ෆ්‍රීපෝර්ට් වෙත යවා තිබෙන බව ද ICIJ ය වැඩිදුරටත් කියා සිටියා.

වෙනත් ස්වාධීන ක්‍රමයකින් තහවුරු කරගත නොහැකි වුවත් සිංගප්පූරුවේ පිහිටි Asiaciti Trust නම් සමාගම වෙත 2011 දී ඊමේල් පණිවිඩයක් යවන නඩේසන්ගේ උපදේශකයකුට අනුව ඒ වෙද්දී නඩේසන්ගේ වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 160 ඉක්මවූ බව සඳහන්.
නමුත් තවමත් නිරූපමා රාජපක්ෂ මේ ගැන ICIJ යොමුකළ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදී නම් නැහැ.