ලොව විශාලතම ස්වාභාවික දම් පැහැති මැණික කොළඹදී නිල වශයෙන් එළිදක්වයි
ලොව විශාලතම ස්වාභාවික දම් පැහැති Purple Star Sapphire ලෙස සැලකෙන “Star of Pure Land” මැණික කොළඹදී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකදී පසුගියදා (17) නිල වශයෙන් එළිදැක්විණි.මේ මැණික කැරට් 3,536ක් බරින් යුක්ත වන අතර වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300- 400 අතර විය හැකි බව මැණික් ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මතයයි.
මෙය අමෙරිකානු මැණික් විද්‍යායතනය (GIA) විසින් ස්වාභාවිකව නිර්මාණය වූ, තාප පිරියම් නොකළ (Unheated) දුර්ලභ ගණයේ මැණිකක් ලෙස සහතික කර තිබේ.
ලංකා මැණික් විද්‍යා රසායනාගාරය (LGL) මඟින්ද මෙහි ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කර ඇත.
මේ මැණිකේ දක්නට ලැබෙන කිරණ හයකින් යුත් තාරකාවක හැඩය (Six-ray asterism) ඉතා පැහැදිලිව සහ සමමිතිකව පිහිටා ඇති අතර, මැණිකේ මුළු මතුපිටම ඉතා අලංකාර ලෙස දිස්වීම විශේෂත්වයකි.මෙය රවුම් කැබොෂොන් (Round Cabochon) ක්‍රමයට කපා නිමවා ඇති අතර, එම කැපුම සහිත ලොව විශාලතම ස්වාභාවික දම් පැහැති Purple Star Sapphire මැණික මෙයයි. දැනට අමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි ‘Tucson Masterpiece Gem Society’ ආයතනය මෙහි භාරකාරත්වය දරන අතර, “Star of Pure Land” ව්‍යාපෘතිය හරහා මෙහි ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීමට නියමිතය. වසර මිලියන ගණනාවකට පෙර භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් හරහා නිර්මාණය වූ මේ අගනා වස්තුව රත්නපුර ප්‍රදේශයෙන් හමු වී ඇතැයි පවසයි.