ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtSlider

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන 3 වන දා සිට

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සිව් වන වරටත් ලබන 3 වන දා සිට 8 වන දා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30කින් චිත්‍රපට 80කට අධික ප්‍රමාණයක් මෙවර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත ය.

උළෙලට සමගාමීව සිනමා සාකච්ඡා සහ වැඩමුලු පැවැත්වෙනු ඇති.

යාපනය සිනමා උළෙලේ අධ්‍යක්‍ෂ අනෝමා රාජකරුණා සිනමා උළෙල පිලිබදව තරිදු උඩුවරගෙදර සමග දැක්වු අදහස් කීපයක් පහතින් දැක්වේ.

මේ වෙලාවේ යාපනයට කලාව සහ සිනමාව වැදගත් වෙන්නේ කොහොමද?

ඕනෑම රටක ආයුධ සන්නද්ධ ගැටුමක් හෝ යුද්ධයක් අවසන් වීමෙන් පසුව එළැඹෙන සමය වැදගත්. මේ පාර්ශ්වයන් අතර යම්කිසි වශයෙන් සාමය උදා වන්නේ ඒ ගැටුම නිමා වීමත් එක්ක. ඒ නිමාව හුදු නිමාවක් නොවන්නේ ගැටුමට සම්බන්ධ වුණු අය අතර සිත් රිදවීම් වගේම යම්කිසි අහිමි වීම් සහ වේදනාවන් සිද්ධ වෙච්ච නිසා. ඒ වගේ පශ්චාත් යුද කාලයක් සාමාන්‍යයෙන් ගැටුම් ඇතිවුණ අය අතර සහජීවනය ඉදිරියට ගෙන යෑම සඳහා පාවිච්චි වුණා. කලාව හරහා විශේෂයෙන් සාදෘශ්‍ය කලාව හරහා ඒක සිද්ධ වුණේ. ලංකාවේ අවුරුදු තිහක යුද්ධයක් නිමා වෙලා වසර පහක් ගතවෙලා තිබුණත් කලාව විශේෂයෙන් සාදෘශ්‍ය කලාව මේ කාලය සඳහා යොදාගන්නවා අපි දැක්කේ නැහැ. ඒ සඳහා සහජීවනයේ දෑත දිගුවෙනවා අපි දැක්කේ නැහැ. ලංකාවේ පහුගිය වසර පහක කාලය ලොකු ප‍්‍රශ්නාර්ථයක් තිබුණා රජයක් වගේම සමාජයක් විදියට සමාජ කි‍්‍රයාකාරීන් සැබෑවටම උත්සාහයක් දැරුවාද කියන ප‍්‍රශ්නය. යාපනය විශ්වවිද්‍යාලයේ බාහිර කථීකාචාර්යවරියක් විදියටත් චිත‍්‍රපට සහ සමාජ සමීක්ෂණවල යෙදුණු කෙනෙක් විදියත් මේ හිස්තැන යම්කිසි විදියකට පුරවාලීමට තමයි අවස්ථාවක් කරගන්න හිතුණේ.

සිනමා උළෙලේ මූලික අරමුණ මොකක්ද?

උළෙලේ මූලික අභිලාෂය සිනමාවේ සහ ලංකාවේ මීළඟ පරපුර ආමන්ත‍්‍රණය කිරීමයි. කෙටි චිත‍්‍රපට වගේ මාධ්‍යයක් ගත්තොත් ලංකාවේ අද දවසේ නිර්මාණය වන චිත‍්‍රපට දකුණේ එකක් නිර්මාණය වෙනකොට උතුරේ දහයක් නිර්මාණය වෙනවා. සමහරු කියනවා ලංකාවේ දෙමළ සිනමාවක් නෑ කියලා. මේක මුසාවක්. එහෙම කියන්නේ සිනමාව ගැන අවබෝධයක් නැති කෙනෙක්. සිනමාව ලෙස පැරණි කාලේ කල්පනා කළා වගේ සිනමා ශාලාවල තිරගත වෙන චිත‍්‍රපටවලින් හඳුනාගැනීම පැරණි ආකල්පයක්. තවදුරටත් සිනමාව කියන්නේ මේක නෙවෙයි. දැන් කෙටි චිත‍්‍රපට වගේ මාධ්‍ය දියුණු වෙලා. සිනමාව අද ඩිජිටල් ආක‍්‍රමණයක් එක්ක පවතින්නේ. මේ ආක‍්‍රමණය හරහා තරුණයන් සමාජය ආක‍්‍රමණය කරලා තියෙනවා. දකුණේ මාධ්‍යවලට සහ දකුණේ සමාජයට උතුරේ සිනමාව දකින්න ලැබෙන්නේ නැහැ. පහුගිය වසර පහක් තිස්සේ යුරෝපා චිත‍්‍රපටි උළෙල කුඩාවට හරි යාපනයට ගෙනියලා තියෙනවා. ඒ එක්කම යාපනයේ තරුණ සිනමාකරුවන් එක්ක වසර ගණනාවක් තිස්සේ අපි කටයුතු කරනවා. උතුර කියන්නේ එක ඒකකයක් නෙවෙයි. දකුණේ වගේම සමාජය තුළ වෙනස්කම් තියෙනවා. ආගම් වශයෙන්, කුල වශයෙන්, රැුකියාවන්, පන්තිය සහ අධ්‍යාපනය වශයෙන් සහ ප‍්‍රදේශ වශයෙන් වගේ වෙනස්කම් තියෙනවා. මේ සියලූ කොටස් අතර සන්නිවේදනයක් කලාව හරහා සිදුවිය යුතුව තියෙනවා. උතුර සහ නැගෙනහිර අතරත් උතුර සහ දකුණ අතරත් සිදුවිය යුතුව තියෙනවා. භූගෝලීය සහ භාෂාමය හේතු නිසා යාපනය අර්ධද්වීපය කලාව පැත්තෙන් සම්බන්ධකම් දක්වන්නේ දකුණු ඉන්දියානු කලාවත් එක්ක. ඒ පැත්තෙන් සන්නිවේදනයක් සිදුවිය යුතුයි. අනෙක් පැත්තෙන් සිංහල හා දෙමළ ඩයස්පෝරාව එක්ක සන්නිවේදනයක් කරන්න ඕනෑ සිනමාව කියන මාධ්‍යය හරහා.

උළෙල සංවිධානය වෙන්නේ කොහොමද? ආකෘතිය පැත්තෙන් වෙනස්කම් තියෙනවා නේද?

සංවිධානය කරන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා අංශයත් ඇජෙන්ඩා 14 ආයතනයත් මූලික වෙලා. යාපනය කියන්නේ විශේෂයෙන්ම කොලිවුඞ් ජනප‍්‍රිය දෙමළ සිනමාව ජනපි‍්‍රය වුණ කලාපයක්. මේ සිනමාවෙන් එහා ගිහින් යම්කිසි සිනමාවක් ලෝකයේ තියෙනවා, විශේෂයෙන් ආර්ට්හවුස් සිනමාව. යුද්ධයත් එක්ක දෙමළ සිනමාව විවිධ සිනමා සංගම් විදියට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් මෙවර අපි සිනමාවේ කළ මෙහෙවර වෙනුවෙන් ලබාදෙන විචාරක සම්මානය ලබාගන්නා ඒ. ජේසුරාසා කියන්නේ ප‍්‍රබල සිනමා සංගම් කි‍්‍රයාකාරිකයෙක්. ඔහු යුද්ධය පවතිත්දීත් අනෙකුත් කාලවලත් සිනමා විචාරය කරමින් සිනමාව සම්බන්ධ කටයුතු කරමින් යම් වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වය වඩා පුළුල් කිරීම අපේ අරමුණයි. ලෝකයේ විවිධ සම්මාන උළෙලවල සම්මාන ලබාගත්ත චිත‍්‍රපට අපි ගෙනල්ලා තියෙනවා. දකුණේ හෙට දවසේ ලංකාවේ පුරවැසියන්ගේ කෙටි චිත‍්‍රපටවලට අවස්ථාව දීලා තියෙනවා. හැමදාම හැංගිලා තිබුණ චිත‍්‍රපට සහ ප‍්‍රථම වතාවට කළ කෙටි චිත‍්‍රපටවලට අපි අවස්ථාව දීලා තියෙනවා. කෙටි චිත‍්‍රපට සහ පේ‍්‍රක්ෂකයා අතර සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා පේ‍්‍රක්ෂක සම්මානයක් තමයි කෙටි චිත‍්‍රපට සඳහා ලබා දෙන්නේ. ලංකාවේ ප‍්‍රථම වතාවට සිනමා උළෙලකදී අපි කුළුදුල් නිර්මාණ සඳහා ඇගැයීමක් ලබා දෙනවා.

සිනමා උළෙල පේ‍්‍රක්ෂකයන්ට විවෘත කරන්නේ කොහොමද?

මේ සිනමා උළෙලේ රතුපලස් නෑ. ලෝකයේ ප‍්‍රධාන ධාරාවේ සිනමා උළෙලවල් කියන්නේ පේ‍්‍රක්ෂකාගාරය. රතු පලසක් මතින් තෝරාගත් පිරිසක් පේ‍්‍රක්ෂකාගාරය වෙත කරනු ලබන කැඳවීමක්. සිනමා ශාලාව තුළට ගන්නා පිරිසට වඩා එළියේ ඉතිරි වන පිරිස වැඩියි. අපේ අරමුණම මේක අනිත් පැත්ත හැරවීම. 15 වෙනිදා ආරම්භක උළෙල හැමෝටම විවෘතයි. අපි ආරාධනා කරනවා. උළෙලේ පේ‍්‍රක්ෂකාගාරය විවිධ වෙයි. කොලිවුඞ් ජනප‍්‍රිය මාදිලියේ නොවන චිත‍්‍රපටයක් සදහා පේ‍්‍රක්ෂකාගාරයක් ඇති කළ යුතුයි. අපි යුරෝපා සම්මාන උළෙල කොළඹට ගෙනෙනකොට පේ‍්‍රක්ෂකා ගාරය ඉතා කුඩා එකක්. පසුව එය වර්ධනය වුණා. දැන් කලින්ම ඇවිත් ඉඩකඩ අල්ලා ගන්නා තත්වයක් තිබෙනවා. ඒ තත්ත්වය අපි පහුගිය අවුරුදු පහක කාලයේදී යාපනයේත් දැක්කා. මේ සුළු ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව සහ ගුණාත්මකව දියුණු කිරීම අභියෝගයක්.‍

අපි දැකලා තියෙනවා දකුණේදී සංක‍්‍රමණික සිනමාකරුවන්ගේ නිර්මාණ. දෙමළ මාධ්‍යයෙන් නිර්මාණ කරන සංක‍්‍රමණික සිනමාකරුවන්ට ලැබෙන අවස්ථාව මොන වගේද?

සංක‍්‍රමණික සිනමා කරුවන් පේ‍්‍රක්ෂකයන්ට සම්බන්ධ කරන්න පුළුවන්. මේ උළෙලට කැනඩාවෙන් සහ මහා බි‍්‍රතාන්‍යයෙන් කුළුඳුල් චිත‍්‍රපට අංශයට ඉදිරිපත් වෙනවා සංක‍්‍රමණික දෙමළ භාෂිත නිර්මාණ දෙකක්. තවමත් නම් හෙළිකළ නොහැකි නිර්මාණ කිහිපයක් තියෙනවා. උළෙල සමාප්ත වෙන්නේ යාපනයේ සිට කැනඩාවට සංක‍්‍රමණය වෙලා ජාත්‍යන්තර සම්මාන ලබපු ලෙනින් එන්. සිවම් කියන නිර්මාණකරුවාගේ ගන් ඇන්ඞ් අ රින්ග් කියන චිත‍්‍රපටයෙන්. සංක‍්‍රමණික සිනමාකරුවන්ව උතුරේ පේ‍්‍රක්ෂකාගාරයට විවෘත කිරීම වැදගත්.

දකුණේ ඉන්නවා ප‍්‍රවීණ සහ දක්ෂ නිර්මාණකරුවන්. ඒ නිර්මාණකරුවන්ගේ සහයෝගය ලාංකික දෙමළ සිනමාවක් වෙනුවෙන් යොදාගන්නේ කොහොමද?

මේක අසීරු කාරණයක්. දකුණේ දැන් නිර්මාණකරණයේ යෙදෙන දෙමළ නිර්මාණකරුවන් ගැන පවා දකුණේ අයගේ සිත්වල තියෙන්නේ සැකයක්. උතුරේදී අපි ගැන සැකයක් තියෙනවා. අපි අනෙකා බවට පත් වෙනවා. පැවතුණු ගැටුමක තුවාල තාම සුවවෙලා නැහැ. ඒ නිසා උළෙලක් වගේ වේදිකාවක් හරහා අපි ඒ සම්බන්ධය ගොඩනගන්න වෙනවා. උතුරට යුද්ධයේ සුන්බුන් නරඹන්න හෝ නාගදීපය බලන්න නෙවෙයි සිනමාව බලන්න යාපනයට එන්න කියන පණිවිඩය යවන්න පුළුවන්. ඒ වගේම යම්කිසි ආකාරයකින් නිෂ්පාදන කාර්යයටත් හවුල් වෙන්න පුළුවන්. පහුගිය කාලයේ අපි යාපනයේ කෙටි චිත‍්‍රපට අටක් විතර නිෂ්පාදනය කළා. තව වැඩි වැඩියෙන් ධර්මසේන පතිරාජලා, අශෝක හඳගමලා, ප‍්‍රසන්න විතානගේලා බිහි කරන්න ඕනෑ. අපි සංවාද මණ්ඩපයක් කරනවා පොන්මනී, ඉනිඅවන්, පිරගු (ඔබ නැතිව ඔබ එක්කෙ) කියන චිත‍්‍රපට තිරගත කරලා ඒ චිත‍්‍රපට පිළිබඳව. ් දකුණේ සිංහල නිර්මාණකරුවන් අතින් කරන නිර්මාණ උතුරේදී ප‍්‍රතික්ෂේප වන ස්වභාවයක් අපි දැක්කා. ඒ වුණත් ඒ නිර්මාණ ගැන යම්කිසි සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. යාපනය තුළ සැඟවෙච්ච සිනමාවක් තියෙනවා. සිනමාව වෙනුවෙන් සංචාරය කරගන්න ප‍්‍රදේශයක් බවට යාපනය පත් කරගැනීම වැදගත්.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;