පුංචි ජන්දයේ පදියතලාවේ ‘අත’ අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි.
අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය සභාව සදහා පලාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් තරග කිරීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ ‘රිට්’ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 වැනිදා) නිෂ්ප්‍රභ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ එම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට අම්පාර මැතිවරණ තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය පළාත් පාලන මැතිවරණ ආඥ පනතේ 31 (1) වගන්තියට අනුකූල බවය. එය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු උසාවියට ඉදිරිපත්ව නැතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරගත් දිනයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා පත්‍ර 2 ක් ප්‍රතික්ෂේප විය. දෙහිඅත්තකණ්ඩිය පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පැවරූ නඩුව දින 04 කට පෙර නිෂ්ප්‍රභ වූ අතර ඊයේ නිෂ්ප්‍රභ වූයේ දෙවැනි නඩුවයි.
පදියතලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ කීර්ති වීරරත්න සහ ඩබ්ලිව්. ඒ. තිලකරත්න යන දෙදෙනා විසිනි.