‘යුරෝපයේ එල්.ටි.ටි.ඊ. තහනම ලේසියෙන් පහසුවෙන් ඉවත් වෙන්නේ නෑ’ – මංගල සමරවීර (වීඩියෝ)
යුරෝපා සංගමය විසින් එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව පනවා ඇති තහනම ඉවත්කර ගන්නා ලෙස එහි ඉහලම විනිශ්චයාසනයකින් නිර්දේශ කර තිබුනද එය සාර්ථක කර ගැනීමට ශ්රී ලංකාවේ රජය ඉඩ නොදෙන බව විදේශ අමාත්ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
”එල්ටීටීඊ තහනම එහෙම ලේසියෙන් පහසුවෙන් ඉවත් වෙන්නේ නෑ,” යි විදේශ අමාත්යවරයා නිව්යෝර්ක් නුවරදී ‘රේඩියෝ ගගන’ ට විශේෂ ප්රකාශයක් කරමින් කියා සිටියේය.
පුරා දශකයක් තිස්සේ යුරෝපා සංගමය තුල එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කළ යුතු බවට යුරෝපයේ ඉහලම අධිකරණයේ ප්රධානතම නීති උපදේශිකාවක් වන යුරෝපා විනිශ්චයාධිකරණයේ නීතිපති ජනරාල් එලනෝර් ෂාප්ස්ටන් විසින් නිර්දේශ කොට ඇත.
එක්සත් ජාතින්ගේ සංගමයේ 71 සැසිවාරයට සහභාගිවීම පිණිස ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින විදේශ අමාත්යවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී හෙතෙම මේ බව කියා සිටියේය.
හැකි සෑම උත්සාහයක්ම දරා එල්ටීටීඊ තහනම යුරෝපය තුල දිගටම පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවට අමාත්යවරයා විශ්වාසය පළ කළේය.
බොහොම අමාරුවෙන් කර ගත් තහනමක් :
“මම 2006 වසරේ විදේශ අමාත්යවරයා වශයෙන් සිටිය කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහාය ඇතිව බොහොම අමාරුවෙන් කර ගත් තහනමක් ඒක. එය ඉදිරියේදීත් මේ ආකාරයට ගෙන යනවා ” යයි අමාත්යවරයා කියා සිටියේය.
පසුගිය දශකයක කාලය තුල එල්.ටි.ටි.ඊ සංවිධානයට විරුද්ධව පනවා තිබු තහනම් නියෝග ඉවත්කර ගැනීමට ඊට සම්බන්ධ පිරිස් මීට පෙර ද කටයුතු කර ඇතත් ඒවා මේ දක්වා සාර්ථක කරගන්න අපහසු වී ඇති බවත් පසුගිය මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයත් එල්.ටි.ටි.ඊ සංවිධානයේ තහනම දික් කිරීමට කටයුතු කළ බව ද විදේශ අමාත්යවරයා පැවසිය.
යම් හෙයකින් එල්.ටි.ටි.ඊ. සංවිධානයට විරුධව ගෙන තිබු තහනම් නියෝග ඉවත්කර ගැනීමට උත්සහක් ගත් සෑම අවස්ථාවක දීම ශ්රී ලංකා රජය ඒ පිළිබඳව කරුණු දක්වා අදාල ඉවත්කරගැනීමේ අවස්ථාවන් බැහැර කර ගත් බව ද අමාත්ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
(radiogagana)