ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකක් නිවාසවල කොටුවෙති

මාරාන්තික කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ. චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.

පාසල්, කෞතුකාගාර, සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා ආදී ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලම අප්‍රේල් 3 වැනිදා දක්වා වසා දැමීමට ඉතාලි බලධාරීහු ඊයේ (8) පියවර ගත්හ. මේ හේතුවෙන් උතුරු ඉතාලියේ නගර රැසක කටයුතු අඩපණ වී තිබේ. එම නගරවලින් අත්‍යවශ්‍ය හේතුවකට හැර පිටත්ව යෑම හෝ එම නගරවලට පැමිණීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.

ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේගේ නියෝග මත නව පියවර ගෙන ඇති අතර අදාළ නියෝගය එරට රාජ්‍ය වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට ද පත් කර ඇත.

නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් සහ වැනීසිය ඇතුළු නගර රැසක මිලියන 15කට වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වී සිටිති.

ආර්ජන්ටිනාවෙන් පළමු කොරෝනා මරණය ඊයේ (7) වාර්තා වූ අතර ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ පළමු මරණය එය විය.

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවට අයත් සුඛෝපභෝගී නෞකාවක් ද සැන් ෆ්‍රැන්සිස්කෝ ආසන්න මුහුදේ නැංඟුරම්ලා ඇත. එම නෞකාවේ 21 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා වයිරසය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30කට ව්‍යාප්ත වී තිබෙන අතර වයිරසයේ හේතුවෙන් එරට 19 දෙනකුට ජීවිත අහිමි වී තිබේ. නිව්යෝක් නුවර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

ඒ.එෆ්.පී.