ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“ව්‍යවස්ථා සභාව නැමැති සුජාත දරුවා දූෂණය කරන්න හදන්නේ ජනපති සිරිසේනයි” – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය

පසුගිය ඔක්තෝබර් 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරම්භ කළ රජයට එරෙහි වැඩපිළිවෙළ මේ වන විට “ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම හරහා සිදු වන” බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය  කියා සිටියාය.

“19 ව්‍යවස්ථා සංශෝධනය කියන සුජාත දරුවාට ව්‍යවස්ථාදායක සභාවෙන් කිසිදු කැළලක් සිදුවී නැහැ. ඒ සුජාත දරුවා දූෂණය කරන්න උත්සහ කරන්නේ, ජනාධිපතිවරයා මයි. ස්වාධීන කොමිෂන් සභාවලට පහර ගසමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට බලපෑම් කරන එක අපි කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. මේ ක්‍රමවේදය අනිවාර්යයෙන් ම පැවතිය යුතුයි.”

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රටේ ප්‍රධාන ආයතන තුන ම “ව්‍යවස්ථා සභාවෙන් පාලනය වන” බවය. “දැනට කටයුතු කරන ආකාරයට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන තුන ම අද ව්‍යවස්ථා සභාවෙන් පාලනය වෙනව කියන එකයි මට කියන්න තියෙන්නේ. මට ඒක කියන්න ඕන තරම් කරුණු තියෙනවා.”

ඔහු මෑත කාලීනව පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථා දෙකේදී ම නැගූ ප්‍රධාන ම චෝදනාව වූයේ, අධිකරණ පත් කිරීම්ය. “ව්‍යවස්ථාදායක සභාව මේ වන විට විනිශ්චයකාරවරුන් 14 දෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර අයගේ නම් මං තුන් සැරේ එවල තියෙනවා.” ඊට අමතරව ඔහු සෙසු ස්වාධීන ආයතන වන පොලිස් කොමිසම සහ රාජ්‍ය සේවා කමිෂන් සභාව ද විවේචනය කළේය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම කමිෂන් සභාවල යම් බලතල ආයතන ප්‍රධානීන්ට ද ලබා දිය යුතු බවය.මෙම චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, “ජනාධිපතිවරයාට අකමැති තීරණ ගන්නා විට ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම සාධාරණ නොවන” බවය.

“තමන්ට කැමති තීරණ දෙනකොට හොඳයි කියන්නත්, අකමැති තීරණ දෙනකොට නරකයි කියන්නත් බැහැ. ව්‍යවස්ථාදායක සභාව කියන්නේ, ස්වාධීන ආයතනයක්. ඒක ගන්නා තීරණ පිළිගත යුතුයි. ඒක ව්‍යවස්ථානුකූලයි,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නාය.

ඇය සඳහන් කළේ, “ව්‍යවස්ථාදායක සභාව තුළ විපක්ෂය මෙන් ම ස්වාධීන සිවිල් නියෝජිතයින් ද නියෝජනය වන හෙයින් එමගින් ගනු ලබන තීරණ ඒකපාර්ශවික තීරණ බවට චෝදනා කළ නොහැකි” බවය.

“මේක ඔක්තෝබර් 26 වන දා පටන් ගත්ත ආරවුලේ ම දිගුවක්. රජය සහ ජනාධිපති අතර තිබුණු ආරවුල ඉවරයි වගේ පෙනුණට ඒක නැවතිලා නැහැ. ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය එහි තවත් එක් ප්‍රකාශනයක් පමණයි,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

“ජනාධිපතිවරයාට ඕන දෙයක් හිතන්න අයිතිය තියෙනවා. ඕන දෙයක් කියන්නත් අයිතිය තියෙනවා. ඒත් ව්‍යවස්ථාදායක සභාව ඒ අයගේ තීරණ ගත යුතුයි.”