‘රෝ ඔත්තු සේවය මාව මරන්න කුමන්ත්‍රණය කරනවා’ – මෛත්‍රී කැබිනට් රැස්වීමේදී කියයි.
තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(16) රාත්‍රියේ පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු විය හැකි අන්දමේ චෝදනාවක් කරළියට ගෙන එමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පවසා ඇත්තේ අඟහරුවාදා (ඊයේ) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමේදීය.
ඉන්දීය රහස් ඔත්තු සේවය “මාව මරන්න හදනවා, ඒත් අගමැති නරේන්ද්‍ර මෝදි මේ සැලසුම ගැන නොදන්නවා වෙන්න පුළුවන්” යයි ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට පැවසූ බව එතැන සිටි අයගෙන් දැනගැනීමට ලැබුණු බවත් ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.
“එහෙම කිව්වාම අපි මහත් තිගැස්මකට පත්වුණා” යයි නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි අයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියකු ඇමතූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ “මේ ගැන හොයලා බලලා අපි නැවතත් ඔබට කතා කරන්නම්” කියාය. එහෙත් හින්දු පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව දක්වාම ඒ ගැන අදාළ නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොතිබිණ.
පසුගියදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායම පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියගෙන්ද ප්‍රකාශයක් ගෙන තිබුණි. ඒ මෙම කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධව හෙළිදරව් කල නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා අවස්ථා කීපයකදී විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස් ඒ මහතාගේ බිරිඳ මුණ ගැසී ඇතැයි විමර්ශනවලින් හෙළිවීමත් සමගයි.
විමල් වීරවංශ මහතා හමුවීමේ අදහසින් තමන් ඒ මහතාගේ බිරිඳ මුණ ගැසුණු බවට සැකකාර ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇති බවත් එම ඉන්දීය ජාතිකයා ප්‍රශ්න කිරීම් වලදි පවසා ඇති බවද කියැවේ. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවෙකුද යන්න පිලිබද සැකය තවදුරටත් තහවුරුවන බව පෙනීයයි.
(උපුටා ගැනීම – ලංකාදීප)