ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ගැටුම පෝර්ට් එලිසබෙත් දී අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය අද (26) දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත් නුවර සාන්ත ජෝර්ජ් පිටියේ දී ආරම්භ වෙයි.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ නවක ක්‍රීඩකයන් රැසක් සමගිනි. එමෙන්ම පසුගියදා සිම්බාබ්වේ සංචාරයේ පැවැති ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගැනීමේ මානසිකත්වයෙන් පසුවන බැවින් එය කණ්ඩායමේ ස්ථාවරත්වයට කිසිදු බාධාවක් නොවනු ඇත. එසේම ආබාධ හේතුවෙන් එවර සංචාරයට එක්නොවූ නායක මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් අද තරගයට ක්‍රීඩා කරන අතර වේගපන්දු යවන දුෂ්මන්ත චමීර ද කණ්ඩායමට එක්වී සිටීම කණ්ඩායමේ මානසිකත්වය ඉහළ නැංවීමට ප්‍රබල සාධක වනු ඇත.

 

දකුණු අප්‍රිකානුවන් අද තරගයට එක්වන්නේ ෆෆ් ඩුප්ලෙසිස්ගේ නායකත්වය යටතේය. එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති ටෙස්ට් තරගමාලාවේ දී නායකත්වයට පත්වී සිටියත් ආබාධයක් මත ඔහුට එම තරගමාලාව අහිමිවූවා පමණක් නොව ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය. ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටින ඩිවිලියර්ස්ගේ අඩුව ශ්‍රී ලංකා පිලට යම්කිසි සහනයක් ගෙන දෙන කරුණක් වුවත් ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන හෂීම් අම්ලා, නායක ඩුප්ලෙසිස්, ජේ.පී දුමිනි සහ ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට තර්ජනයක් ගෙන දෙනු ඇත.

දෙපිල අතර මේ දක්වා ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක් ජයගැනීමට සමත්වී ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය. ශ්‍රී ලංකාවට ජය හිමිවූයේ තරග 5ක දී පමණි. ඉතිරි තරග 6 නිමාවට පත්වූයේ ජයපරාජයෙන් තොරවය. එ‍සේ වුවත් 2014 අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළ දකුණු අප්‍රිකානු පිල තරග 1-0කින් තරගමාලාව ජයගැනීම හේතුවෙන් අද ඇරැඹෙන ටෙස්ට් තරගමාලාව ශ්‍රී ලංකා පිලට අතිශය වැදගත් තරගමාලාවක් වනු නිසැකය.

ශ්‍රී ලංකා පිල – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, විකුම් සංජය.

දකුණු අප්‍රිකානු පිල – ෆෆ් ඩුප්ලෙසිස් (නායක), ස්ටීවන් කුක්, ඩීන් එල්ගාර්, හෂීම් අම්ලා, ජේ.පී.දුමිනි, ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩි ‍කොක්, වර්නන් ෆිලෙන්ඩර්, කෙෂෙව් මහරාජ්, කයිල් අබෝට්, කගීසෝ රබාඩා.