ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

එයාර් බස් ගනුදෙනුවේ නාමල් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් CIDයට උපදෙස්..

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

මෙතෙක් කළ විමර්ශනවලට අනුව නාමල් රාජපක්ෂට එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර තිබූ කපිල චන්ද්‍රසේන විසින් ලබාගත් අල්ලස් මුදලක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, අදාළ උපදෙස් සම්බන්ධයෙන් මෝසමක් මගින් නඩුව කැඳවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ අදාළ ගනුදෙනුවේදී රුපියල් ලක්ෂ 100ක අල්ලසක් 2014, 2015 වසරවලදී අවස්ථා කිහිපයකදී ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.