ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විමල්, උදය, දිලිත්, සුගීශ්වර, අසංක, මහින්ද උසාවියට අපහාස කරලා – කොටුව මහේස්ත්‍රාත් තීරණය කරයි | නෛතික තීරණය අභියාචනාධිකරණයට

පාස්කු ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙන් රඳවා තබා­ගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ නමැති සැක­කරු සම්බ­න්ධ­යෙන් හිටපු අමා­ත්‍ය­ව­රුන් වන විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල, පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර, හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ලේක­ම්ව­ර­යකු වන සුගී­ෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහ­ජන පක්ෂයේ නායක අසංක නව­රත්න සහ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය මහා­චාර්ය මහින්ද පති­රණ යන හය දෙනා අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇති බවට කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ඊයේ (05) තීර­ණය කළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළේය. මෙම පුද්ග­ල­යන්ට එරෙ­හිව ඉදිරි නෛතික පිය­වර ගැනීම සඳහා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට දන්වා යැවී­මට කට­යුතු කරන බව ද නියෝ­ගය නිකුත් කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා දන්වා සිටි­යේය.

සුරේෂ් සලේ නමැති සැක­ක­රුට ඇති රෝගී තත්ත්වය සම්බ­න්ධ­යෙන් නියෝ­ග­යක් ලබා දීමට 2026.06.10 දින නියම කර තිබි­යදී, 2026.06.07 දින කොටුව දුම්රි­ය­පොළ ඉදි­රි­පිට සත්‍ය­ග්‍ර­හ­යක් සිදු කර­මින් ප්‍රකාශ සිදු කිරීම හරහා ඔවුන් අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇති බවට මහේ­ස්ත්‍රා­ත්ව­රයා තීර­ණය කළේය.

සැක­ක­රු­වන් විසින් 2024 අංක 8 දරන අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත උල්ලං­ඝ­නය කර­මින් අද­හස් ප්‍රකාශ කර ඇති බවට දිවු­රුම් ප්‍රකා­ශ­යක් ඉදි­රි­පත් කර­මින් හා සාක්ෂි ලබා දෙමින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ විස්ත­ර­යක් අධි­ක­ර­ණය හමුවේ සිදු කළේය.

නියෝ­ගය ප්‍රකාශ කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙසේ සඳ­හන් කළේය:

“එකී ප්‍රකාශ සියල්ල සැල­කි­ල්ලට ගැනී­මේදී පෙනී යන්නේ තුන්වැනි සැක­කරු වන සුරේෂ් සලේට වධ­හිංසා පමු­ණුවා ඇති බවට ඔහු වෙනු­වෙන් ඉල්ලී­මක් සිදු කර, ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ නියෝ­ග­යට 2026.06.10 දින නියම කර තිබි­යදී, 2026.06.07 දින විමල් වීර­වංශ ඇතුළු පිරිස අධි­ක­ර­ණ­යෙන් පිට­තදී මෙම ප්‍රකාශ සිදු කර ඇති බවත්, එය 2024 අංක 8 දරන අධි­ක­ර­ණ­ය­කට අප­හාස කිරීමේ පනතේ 3(1)(ආ) වග­න්තිය යටතේ යම්කිසි විභාග වෙමින් පව­තින නඩු­ව­කට අදාළ අධි­ක­රණ ක්‍රියා­ව­ලිය සඳහා මැදි­හත් වීම හා ඊට තද­බල අග­ති­යක් සිදු කිරීමේ අද­හ­සින් යුක්තව සිදු කරන ලද ක්‍රියා­වක් බවත් බැලූ බැල්මට පෙනී යයි.

2024 අංක 8 දරන අධි­ක­ර­ණ­ය­කට, විනි­ශ්චය අධි­ක­ර­ණ­ය­කට හෝ ආය­ත­න­ය­කට අප­හාස කිරීමේ පනත ප්‍රකා­රව 3(1)(අ), 3(2)(ඇ) 1, 2, 3 යටතේ දඬු­වම් ලැබිය හැකි වර­දක් බව ද පෙනී යයි. අධි­ක­රණ කට­යු­ත්ත­කට හෝ ක්‍රියා­ව­ලි­ය­කට තද­බල ලෙස මැදි­හත් වෙමින් යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­ව­ලි­යට නීති­වි­රෝධි ලෙස මැදි­හත් වීම, අග­ති­ගාමී ලෙස සාවද්‍ය කරු­ණක් ප්‍රකාශ කිරීම, කඩා­ක­ප්පල් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම හෝ වෙනත් යම් ක්‍රියා­වක් යට­තට මෙය ගැනෙයි.

එමෙන්ම ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ සහ සංශෝ­ධිත ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ සංශෝ­ධන පනතේ 9(ආ) වග­න්තිය යටතේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මාසි­කව පරීක්ෂා කරනු ලබයි. එවැනි තත්ත්ව­යක් යටතේ තෙවැනි සැක­කරු වධ­කා­ගා­ර­යක රඳවා සිටින බවත්, වධ­කා­ගා­රයේ රඳවා වධ හිංසා පමු­ණු­වන බවත් ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කිරීම මඟින් අධි­ක­රණ කට­යු­තු­ව­ලට මෙන්ම මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මස­කට වරක් නිරී­ක්ෂ­ණය කර සැක­ක­රුගේ අදාළ අව­ශ්‍යතා සඳහා ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ නියෝග ලබා දෙන අව­ස්ථා­වක සැක­කරු වධ­කා­ගා­ර­යක රඳවා සිටින බවට ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කිරීම සාවද්‍ය කරු­ණක් ප්‍රකාශ කිරී­මක් වේ. අධි­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් අව­ත­ක්සේ­රු­වක් සිදු කරන බවත්, ඒ අනුව යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­වට මැදි­හත් වීමක් හෝ බාධා කිරී­මක් ලෙස එකී ප්‍රකාශ සිදු කර ඇති බවත් පෙනී යයි. ඒ අනුව ඉහත ප්‍රකාශ සිදු කර­මින් විමල් වීර­වංශ යන අය අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත යටතේ දඬු­වම් ලැබිය හැකි වර­දක් සිදු කර ඇති බවට තීර­ණය කරමි.

එසේම 2026.06.07 දින “ශානිගේ වධ­කා­ගා­ර­යෙන් සලේ මුදා හරින්න, නිද­හස් කරන්න, අපි කිය­න­වාද විම­ර්ශන සිදු කරන්න එපා කියලා, අපි කියන්නේ මේ වධ­කා­ගා­රය පව­ත්වා­ගෙන යන්න එපා කියලා” යනු­වෙන් ප්‍රකාශ කර ඇත්තේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මාසි­කව සැක­කරු නිරී­ක්ෂ­ණය කරන ස්ථාන­යක් වධ­කා­ගා­ර­යක් ලෙසින් ප්‍රකාශ කිරී­මක් බව පැහැ­දි­ලිව පෙනී යයි. අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චේත­නා­වෙන් ඉහත කී ප්‍රකාශ උදය ප්‍රභාත් ගම්ම­න්පිල යන අය සිදු කර අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇති බව පැහැ­දි­ලිව පෙනී යයි.

“සුරේෂ් සලේ මැති­තු­මාව අත්අ­ඩං­ගු­වට ගෙන ශානි අබේ­සේ­කර යන වධ­ක­යාගේ වධ­කා­ගා­ර­යට දාලා දස­වධ දෙන එකට විරු­ද්ධව ආරම්භ කළ සත්‍ය­ග්‍ර­හ­යට අපිත් එකතු වුණා” එකී ප්‍රකා­ශ­යත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මාසි­කව නිරී­ක්ෂ­ණය කරන ස්ථාන­යක් වධ­කා­ගා­ර­යක් ලෙස සඳ­හන් කර­මින් සිදු කර ඇති අතර, සුගී­ෂ්වර බණ්ඩාර යන අය අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත යටතේ වර­දක් සිදු කර තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි.

අවු­රුදු 30 ගණ­නක් තිස්සේ අපේ රටට ත්‍රස්ත­වා­ද­යෙන් අව­සන් කරන්න කැප වූ බුද්ධි අංශ නිල­ධා­රියා වන සුරේෂ් සලේ සම්බ­න්ධ­යෙන් යම් චෝද­නා­වක් තිබේ නම් එහි පරී­ක්ෂණ සාධා­රණ අයු­රින් කළ යුතුයි. ශානිගේ වධ­කා­ගා­රය යනු­වෙන් අසංක නව­රත්න ප්‍රකාශ කිරීම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත යටතේ ගැනෙන වර­දක් සිදු කර තිබෙ­නවා. ඔහු වධ­කා­ගා­රය ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා මාසි­කව නිරී­ක්ෂ­ණය කරන ස්ථානය සඳ­හන් කර තිබී­මෙන් බැලූ බැල්මට වර­දක් සිදු කර තිබෙන බව අනා­ව­ර­ණය වෙනවා.

පස්වැනි සැක­කරු වන මහා­චාර්ය මහින්ද පති­රණ යන අය විසින් 2026.06.10 දින මා විසින් තුන්වැනි සැක­ක­රුට වධ හිංසා පමු­ණුවා තිබීම සම්බ­න්ධ­යෙන් විශේ­ෂඥ වෛද්‍ය මණ්ඩ­ල­යක් පත් කිරී­මෙන් අන­තු­රුව, ඔහුගේ ඉන්ස්ට­ග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) ගිණු­ම්වල සට­හන් තබ­මින් “සලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩ­ලය කියා පත්කර තිබෙන්නේ පට්ට ජේවීපී සෙට් එකක්, මේකෙන්ම පේනවා ආණ්ඩුව කරපු බොරුව, ඔවුන්ව ස්වාධීන මණ්ඩ­ල­ය­කට දාලා මේ ගැන අද­හස් දක්වන්න බැහැ” එකී ප්‍රකාශ සැල­කි­ල්ලට ගැනී­මේදී අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චේත­නා­වෙන් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව පෙනී යයි. අධි­ක­රණ නියෝ­ග­යක් මත ස්වාධීන වෛද්‍ය මණ්ඩ­ල­යක් පත් කළ පසු එය දේශ­පා­ලන පක්ෂ­යක සාමා­ජි­ක­යන් අධි­ක­ර­ණය විසින් පත් කළ බවට ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලා­වල පළ කිරීම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චේත­නා­වෙන් සිදු කළ බවට බැලූ බැල්මට පෙනී යයි. එකී ක්‍රියාව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත උල්ලං­ඝ­නය කිරී­මක් බව බැලූ බැල්මට පෙනී යයි. දේශ­පා­ලන පක්ෂ­යක සාමා­ජි­ක­යන් විසින් ප්‍රසිද්ධ සමාජ ජාලා මඟින් ප්‍රකාශ නිකුත් කර ඇති බව පෙනී යයි. එකී ක්‍රියාව 2024 අංක 8 දරන අධි­ක­ර­ණ­ය­කට, විනි­ශ්චය අධි­ක­ර­ණ­ය­කට හෝ ආය­ත­න­ය­කට, යම් නඩු තීන්දු­ව­කට, විනි­ශ්ච­ය­කට, විධා­න­ය­කට, රිට් ආඥා­ව­කට හෝ චේත­නා­න්වි­තව අධි­ක­රණ බලය අව­මා­න­යට ලක් කිරීම හෝ අධි­ක­රණ කට­යු­ත්ත­කට අග­ති­ගාමී ලෙස මැදි­හත් වීම හෝ යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­ව­ලි­යට මහින්ද පති­රණ යන අය මැදි­හත් වී ඇති බව තීර­ණය කර­මින්, අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත යටතේ බැලූ බැල්මට වර­දක් කර ඇති බව පෙනී යයි.

එසේම හය වැනි සැක­කරු වන දිලිත් සුසන්ත ජය­වීර යන අය තුන්වැනි සැක­ක­රුට වධ හිංසා පමු­ණුවා ඇති බවට ස්වාධීන වෛද්‍ය මණ්ඩ­ල­යක් පත් කිරී­මට අධි­ක­ර­ණය තීර­ණය කළ පසු, ඊට පසු දිනක රූප­වා­හිනී සාක­ච්ඡා­ව­කදී අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චේත­නා­වෙන් එකී ප්‍රකා­ශය සිදු කර ඇති බවට තීර­ණය කරමි.”

එම මාධ්‍ය සාක­ච්ඡා­වේදී දිලිත් ජය­වීර සහ මාධ්‍ය­වේ­දියා අතර වූ සංවා­දය මෙහිදී අධි­ක­ර­ණය විසින් ප්‍රකා­ශ­යට පත් කරනු ලැබීය:

දිලිත් ජය­වීර: “හැබැයි පැහැ­දිලි වෛද්‍ය වාර්තා­වක් තිබෙ­නවා.”

මාධ්‍ය­වේ­දියා: “තවත් වෛද්‍ය වාර්තා­වක් කැඳ­වී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා තීර­ණය කරලා නේද?”

දිලිත් ජය­වීර: “අන්න ඒක තමයි මේ කියන්නේ මේක බාල වැඩ කියලා. වෛද්‍ය­ව­ර­යෙක් වෛද්‍ය වාර්තා­වක් දුන්නට පස්සේ තවත් වෛද්‍ය­ව­රුන් පස් දෙනෙක් දාලා අර වෛද්‍ය­ව­රයා බොරු කිව්වා කිය­ලද කියන්න හදන්නේ මේ.”

මාධ්‍ය­වේ­දියා: “හැබැයි මේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා යෝජනා කරන්නේ.”

දිලිත් ජය­වීර: “ඒක තමයි මම කියන්නේ දැන්.”

මහේ­ස්ත්‍රා­ත්ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ පැව­සීය:

“එකී කොටස පරීක්ෂා කිරී­මේදී අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චේත­නා­වෙන් බාල වැඩක් ලෙස සැල­කී­මක් සහ එක් වෛද්‍ය වාර්තා­වක් ඉදි­රි­පත් කර තිබි­යදී වෛද්‍ය මණ්ඩ­ල­ය­කින් වෛද්‍ය වාර්තා­වක් කැඳ­වීම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චේත­නා­වෙන් සිදු කිරීම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත උල්ලං­ඝ­නය කර දඬු­වම් ලැබිය හැකි වර­දක් සිදු කර ඇති බව බැලූ බැල්මට පෙනී යයි.

ඉහත සඳ­හන් පුද්ග­ල­යන් එකී කාලය තුළදී අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනතේ ඉහත සඳ­හන් ප්‍රති­පා­දන ප්‍රකා­රව දඬු­වම් ලැබිය යුතු වර­දක් සිදු කර ඇති බවට බැලූ බැල්මට පෙනී යන බැවින් මෙකී පුද්ග­ල­යන් හය දෙනා සම්බ­න්ධ­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට දන්වා යැවී­මට තීර­ණය කරමි.”

ස්වාධීන රූප­වා­හිනී, සියත, සිරස, ස්වර්ණ­වා­හිනී, දෙරණ ඇතුළු විදත් මාධ්‍ය 10ක සංස්ක­ර­ණය නොකළ දර්ශන සහ එම ආය­ත­න­වල මාධ්‍ය කළ­ම­නා­ක­රු­වන්, අධ්‍ය­ක්ෂ­ව­රුන් සහ මාධ්‍ය­වේ­දීන් කළ ප්‍රකාශ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

මෙකී විම­ර්ශ­නය පසු­ගිය 2026.06.07 දින කොටුව දුම්රිය ස්ථානය ඉදි­රි­පිට සිදු කළ සත්‍ය­ග්‍ර­හය සහ ඉන් පසුව රූප­වා­හිනී නාළිකා, ෆේස්බුක් සහ ඉන්ස්ට­ග්‍රෑම් ගිණුම් ඔස්සේ සිදු කළ සංවාද තැටි ලබා ගත් බවත්, ඒවා අධි­ක­ර­ණ­යට වැඩි­දුර නිරී­ක්ෂණ සඳහා ඉදි­රි­පත් කරන බවත් වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එසේම මෙම විම­ර්ශ­න­යට අනුව ස්වාධීන රූප­වා­හිනී ආය­ත­නයේ ප්‍රවෘත්ති කළ­ම­නා­කා­රිනි නලින්දා සංජී­වනී පෙරේරා, සියත රූප­වා­හි­නියේ සහ­කාර කළ­ම­නා­කා­රිනි හර්ෂිකා ප්‍රනාන්දු, ස්වර්ණ­වා­හිනී ආය­ත­නයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සාරංග දිලූෂ කුමාර, සිරස ආය­ත­නයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් ප්‍රේම­චන්ද්‍ර, දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුව­රාජ් අතු­කෝ­රල ඇතුළු මාධ්‍ය ප්‍රධා­නීන් කිහි­ප­දෙ­න­කු­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගත් බවත්, ඊට අදාළ වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එසේම මෙම ප්‍රකාශ පටි­ගත කළ එම මාධ්‍ය ආය­තන 10යේ ප්‍රවෘත්ති වාර්තා­ක­රු­ව­න්ගෙන්ද ප්‍රකාශ සට­හන් කර­ගත් බව කී පොලී­සිය, එම මාධ්‍ය වාර්තා­වල සංස්ක­ර­ණය නොකළ දර්ශන සහ විකා­ශය වූ දර්ශන එම ආය­ත­න­ව­ලින් අධි­ක­රණ නියෝග ප්‍රකා­රව ලබා ගත් බවත් පව­ස­මින් එකී සීඩී තැටි අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

මෙම පුද්ග­ල­යන් විසින් අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත උල්ලං­ඝ­නය කර ඇති බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය කළ බව කී පොලී­සිය, ඔවුන්ට එරෙ­හිව නෛතික පිය­වර ගන්නා ලෙසත්, ඒ බව මහා­ධි­ක­ර­ණ­යට (අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට) දන්වා යවන ලෙසත් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එකී ඉදි­රි­පත් වූ කරු­ණු­ව­ලට අනුව සැක­ක­රු­වන් හය දෙනා විසින් අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පනත බැලූ බැල්මට උල්ලං­ඝ­නය කළ බවට තීර­ණය කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා, ඒ සම්බ­න්ධ­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට දන්වා යැවී­මට තීර­ණය කළ බව දැනුම් දුන්නේය.

සුභා­ෂිණී සේනා­නා­යක