විමල්, උදය, දිලිත්, සුගීශ්වර, අසංක, මහින්ද උසාවියට අපහාස කරලා – කොටුව මහේස්ත්‍රාත් තීරණය කරයි | නෛතික තීරණය අභියාචනාධිකරණයට
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ නමැති සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වන සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මහින්ද පතිරණ යන හය දෙනා අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (05) තීරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය. මෙම පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයට දන්වා යැවීමට කටයුතු කරන බව ද නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
සුරේෂ් සලේ නමැති සැකකරුට ඇති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමට 2026.06.10 දින නියම කර තිබියදී, 2026.06.07 දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් සිදු කරමින් ප්‍රකාශ සිදු කිරීම හරහා ඔවුන් අධිකරණයට අපහාස කර ඇති බවට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
සැකකරුවන් විසින් 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කරමින් අදහස් ප්‍රකාශ කර ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හා සාක්ෂි ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විස්තරයක් අධිකරණය හමුවේ සිදු කළේය.
නියෝගය ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ සඳහන් කළේය:
“එකී ප්‍රකාශ සියල්ල සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ තුන්වැනි සැකකරු වන සුරේෂ් සලේට වධහිංසා පමුණුවා ඇති බවට ඔහු වෙනුවෙන් ඉල්ලීමක් සිදු කර, ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයට 2026.06.10 දින නියම කර තිබියදී, 2026.06.07 දින විමල් වීරවංශ ඇතුළු පිරිස අධිකරණයෙන් පිටතදී මෙම ප්‍රකාශ සිදු කර ඇති බවත්, එය 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස කිරීමේ පනතේ 3(1)(ආ) වගන්තිය යටතේ යම්කිසි විභාග වෙමින් පවතින නඩුවකට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා මැදිහත් වීම හා ඊට තදබල අගතියක් සිදු කිරීමේ අදහසින් යුක්තව සිදු කරන ලද ක්‍රියාවක් බවත් බැලූ බැල්මට පෙනී යයි.
2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකරණයකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත ප්‍රකාරව 3(1)(අ), 3(2)(ඇ) 1, 2, 3 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පෙනී යයි. අධිකරණ කටයුත්තකට හෝ ක්‍රියාවලියකට තදබල ලෙස මැදිහත් වෙමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට නීතිවිරෝධි ලෙස මැදිහත් වීම, අගතිගාමී ලෙස සාවද්‍ය කරුණක් ප්‍රකාශ කිරීම, කඩාකප්පල් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම හෝ වෙනත් යම් ක්‍රියාවක් යටතට මෙය ගැනෙයි.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ සංශෝධිත ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනතේ 9(ආ) වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා විසින් මාසිකව පරීක්ෂා කරනු ලබයි. එවැනි තත්ත්වයක් යටතේ තෙවැනි සැකකරු වධකාගාරයක රඳවා සිටින බවත්, වධකාගාරයේ රඳවා වධ හිංසා පමුණුවන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මඟින් අධිකරණ කටයුතුවලට මෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් මසකට වරක් නිරීක්ෂණය කර සැකකරුගේ අදාළ අවශ්‍යතා සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නියෝග ලබා දෙන අවස්ථාවක සැකකරු වධකාගාරයක රඳවා සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සාවද්‍ය කරුණක් ප්‍රකාශ කිරීමක් වේ. අධිකරණය සම්බන්ධයෙන් අවතක්සේරුවක් සිදු කරන බවත්, ඒ අනුව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවට මැදිහත් වීමක් හෝ බාධා කිරීමක් ලෙස එකී ප්‍රකාශ සිදු කර ඇති බවත් පෙනී යයි. ඒ අනුව ඉහත ප්‍රකාශ සිදු කරමින් විමල් වීරවංශ යන අය අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට තීරණය කරමි.
එසේම 2026.06.07 දින “ශානිගේ වධකාගාරයෙන් සලේ මුදා හරින්න, නිදහස් කරන්න, අපි කියනවාද විමර්ශන සිදු කරන්න එපා කියලා, අපි කියන්නේ මේ වධකාගාරය පවත්වාගෙන යන්න එපා කියලා” යනුවෙන් ප්‍රකාශ කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයා විසින් මාසිකව සැකකරු නිරීක්ෂණය කරන ස්ථානයක් වධකාගාරයක් ලෙසින් ප්‍රකාශ කිරීමක් බව පැහැදිලිව පෙනී යයි. අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් ඉහත කී ප්‍රකාශ උදය ප්‍රභාත් ගම්මන්පිල යන අය සිදු කර අධිකරණයට අපහාස කර ඇති බව පැහැදිලිව පෙනී යයි.
“සුරේෂ් සලේ මැතිතුමාව අත්අඩංගුවට ගෙන ශානි අබේසේකර යන වධකයාගේ වධකාගාරයට දාලා දසවධ දෙන එකට විරුද්ධව ආරම්භ කළ සත්‍යග්‍රහයට අපිත් එකතු වුණා” එකී ප්‍රකාශයත් මහේස්ත්‍රාත්වරයා විසින් මාසිකව නිරීක්ෂණය කරන ස්ථානයක් වධකාගාරයක් ලෙස සඳහන් කරමින් සිදු කර ඇති අතර, සුගීෂ්වර බණ්ඩාර යන අය අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ වරදක් සිදු කර තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි.
අවුරුදු 30 ගණනක් තිස්සේ අපේ රටට ත්‍රස්තවාදයෙන් අවසන් කරන්න කැප වූ බුද්ධි අංශ නිලධාරියා වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් යම් චෝදනාවක් තිබේ නම් එහි පරීක්ෂණ සාධාරණ අයුරින් කළ යුතුයි. ශානිගේ වධකාගාරය යනුවෙන් අසංක නවරත්න ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ ගැනෙන වරදක් සිදු කර තිබෙනවා. ඔහු වධකාගාරය ලෙස මහේස්ත්‍රාත්වරයා මාසිකව නිරීක්ෂණය කරන ස්ථානය සඳහන් කර තිබීමෙන් බැලූ බැල්මට වරදක් සිදු කර තිබෙන බව අනාවරණය වෙනවා.
පස්වැනි සැකකරු වන මහාචාර්ය මහින්ද පතිරණ යන අය විසින් 2026.06.10 දින මා විසින් තුන්වැනි සැකකරුට වධ හිංසා පමුණුවා තිබීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) ගිණුම්වල සටහන් තබමින් “සලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය කියා පත්කර තිබෙන්නේ පට්ට ජේවීපී සෙට් එකක්, මේකෙන්ම පේනවා ආණ්ඩුව කරපු බොරුව, ඔවුන්ව ස්වාධීන මණ්ඩලයකට දාලා මේ ගැන අදහස් දක්වන්න බැහැ” එකී ප්‍රකාශ සැලකිල්ලට ගැනීමේදී අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව පෙනී යයි. අධිකරණ නියෝගයක් මත ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත් කළ පසු එය දේශපාලන පක්ෂයක සාමාජිකයන් අධිකරණය විසින් පත් කළ බවට ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලාවල පළ කිරීම අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් සිදු කළ බවට බැලූ බැල්මට පෙනී යයි. එකී ක්‍රියාව අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කිරීමක් බව බැලූ බැල්මට පෙනී යයි. දේශපාලන පක්ෂයක සාමාජිකයන් විසින් ප්‍රසිද්ධ සමාජ ජාලා මඟින් ප්‍රකාශ නිකුත් කර ඇති බව පෙනී යයි. එකී ක්‍රියාව 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකරණයකට හෝ ආයතනයකට, යම් නඩු තීන්දුවකට, විනිශ්චයකට, විධානයකට, රිට් ආඥාවකට හෝ චේතනාන්විතව අධිකරණ බලය අවමානයට ලක් කිරීම හෝ අධිකරණ කටයුත්තකට අගතිගාමී ලෙස මැදිහත් වීම හෝ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මහින්ද පතිරණ යන අය මැදිහත් වී ඇති බව තීරණය කරමින්, අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ බැලූ බැල්මට වරදක් කර ඇති බව පෙනී යයි.
එසේම හය වැනි සැකකරු වන දිලිත් සුසන්ත ජයවීර යන අය තුන්වැනි සැකකරුට වධ හිංසා පමුණුවා ඇති බවට ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට අධිකරණය තීරණය කළ පසු, ඊට පසු දිනක රූපවාහිනී සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් එකී ප්‍රකාශය සිදු කර ඇති බවට තීරණය කරමි.”
එම මාධ්‍ය සාකච්ඡාවේදී දිලිත් ජයවීර සහ මාධ්‍යවේදියා අතර වූ සංවාදය මෙහිදී අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය:
දිලිත් ජයවීර: “හැබැයි පැහැදිලි වෛද්‍ය වාර්තාවක් තිබෙනවා.”
මාධ්‍යවේදියා: “තවත් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කරලා නේද?”
දිලිත් ජයවීර: “අන්න ඒක තමයි මේ කියන්නේ මේක බාල වැඩ කියලා. වෛද්‍යවරයෙක් වෛද්‍ය වාර්තාවක් දුන්නට පස්සේ තවත් වෛද්‍යවරුන් පස් දෙනෙක් දාලා අර වෛද්‍යවරයා බොරු කිව්වා කියලද කියන්න හදන්නේ මේ.”
මාධ්‍යවේදියා: “හැබැයි මේක මහේස්ත්‍රාත්වරයා යෝජනා කරන්නේ.”
දිලිත් ජයවීර: “ඒක තමයි මම කියන්නේ දැන්.”
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය:
“එකී කොටස පරීක්ෂා කිරීමේදී අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් බාල වැඩක් ලෙස සැලකීමක් සහ එක් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබියදී වෛද්‍ය මණ්ඩලයකින් වෛද්‍ය වාර්තාවක් කැඳවීම අධිකරණයට අපහාස කිරීමේ චේතනාවෙන් සිදු කිරීම අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කර දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව බැලූ බැල්මට පෙනී යයි.
ඉහත සඳහන් පුද්ගලයන් එකී කාලය තුළදී අධිකරණයට අපහාස කිරීමේ පනතේ ඉහත සඳහන් ප්‍රතිපාදන ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට බැලූ බැල්මට පෙනී යන බැවින් මෙකී පුද්ගලයන් හය දෙනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දන්වා යැවීමට තීරණය කරමි.”
ස්වාධීන රූපවාහිනී, සියත, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ ඇතුළු විදත් මාධ්‍ය 10ක සංස්කරණය නොකළ දර්ශන සහ එම ආයතනවල මාධ්‍ය කළමනාකරුවන්, අධ්යක්ෂවරුන් සහ මාධ්‍යවේදීන් කළ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙකී විමර්ශනය පසුගිය 2026.06.07 දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදු කළ සත්‍යග්‍රහය සහ ඉන් පසුව රූපවාහිනී නාළිකා, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ සිදු කළ සංවාද තැටි ලබා ගත් බවත්, ඒවා අධිකරණයට වැඩිදුර නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන බවත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
එසේම මෙම විමර්ශනයට අනුව ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්රවෘත්ති කළමනාකාරිනි නලින්දා සංජීවනී පෙරේරා, සියත රූපවාහිනියේ සහකාර කළමනාකාරිනි හර්ෂිකා ප්‍රනාන්දු, ස්වර්ණවාහිනී ආයතනයේ ප්රවෘත්ති අධ්යක්ෂ සාරංග දිලූෂ කුමාර, සිරස ආයතනයේ ප්රවෘත්ති අධ්යක්ෂ ගයාන් සම්පත් ප්‍රේමචන්ද්‍ර, දෙරණ මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති අධ්යක්ෂ යුවරාජ් අතුකෝරල ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එසේම මෙම ප්‍රකාශ පටිගත කළ එම මාධ්‍ය ආයතන 10යේ ප්රවෘත්ති වාර්තාකරුවන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බව කී පොලීසිය, එම මාධ්‍ය වාර්තාවල සංස්කරණය නොකළ දර්ශන සහ විකාශය වූ දර්ශන එම ආයතනවලින් අධිකරණ නියෝග ප්‍රකාරව ලබා ගත් බවත් පවසමින් එකී සීඩී තැටි අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම පුද්ගලයන් විසින් අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය කළ බව කී පොලීසිය, ඔවුන්ට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙසත්, ඒ බව මහාධිකරණයට (අභියාචනාධිකරණයට) දන්වා යවන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එකී ඉදිරිපත් වූ කරුණුවලට අනුව සැකකරුවන් හය දෙනා විසින් අධිකරණයට අපහාස කිරීමේ පනත බැලූ බැල්මට උල්ලංඝනය කළ බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දන්වා යැවීමට තීරණය කළ බව දැනුම් දුන්නේය.
සුභාෂිණී සේනානායක