අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය විවෘත කරයි
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ විමර්ශන කටයුතු සිදු කිරීමේ අරමුණින් ස්ථාපිත කළ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය අද (ඔක්. 20) විවෘත කෙරිණි.
මෙම කොට්ඨාසයේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පත් කර ඇති අතර නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ගුණතිලක කටයුතු කරයි.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය යටතේ නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදු කරයි.
මහජනතාවට ද මෙම කොට්ඨාසය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර මෙම ඒකකයට නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමි ව තිබේ.
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත 2025 ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වේ. එය පාර්ලිමේන්තුවේ තෙවැනිවර කියවීමෙන් පසු සම්මත වූයේ ඡන්ද විමසීමකින් මෙන් ම සංශෝධනවලින් ද තොරව ය.