‘මම කළේ කළ යුතු දේ. සේවකයින්ගේ වැටුප් වැඩිකල යුතුයි.. ඒ නිසා මම ඉවත් වෙන්නේ නෑ’ – මහ බැංකු අධිපති කියයි
මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය මත, තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
අද (මාර්තු 26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, ආයතනයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ආයතනයේ ප්‍රධානියා වශයෙන් තමන්ගේ වගකීම බව ත් එම නිසා මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත්වීමට එය හේතුවක් නොවන බව ත් ය.
“මගේ යටතේ වැඩ කරන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් කරපු නිසා යම්කිසි ආකාරයක නැවත සලකා බැලීම මේ හේතු නිසා මම ඉවත් වෙලා යන්නේ නෑ. ඉතා ම පැහැදිලි යි. මම යනවා නම් මට මේ රස්සාව මේක රටට කරන දේ කරන්න බැරි නම් මිසක් ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩි කළා කියන හේතුව මම දකින්නේ ඒක ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කරලා තියෙනවා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක් කියලා. අනිත් එක මේක මුදල් මණ්ඩලය පමණක් නෙමෙයි මේ තීරණය ගන්නේ වෘත්තීය සමිති එක්ක සාකච්ජා කරලා එකඟ වෙලා වසර තුනක් සඳහා තියෙන සාමුහික එකඟතාවකින්. එතකොට මේකේ වෙනස තියෙන්නේ, ඔබතුමා කියපු අනෙකුත් තීරණ අපේ පරිපාලනය සහ මුදල් මණ්ඩලයේ තීරණ ආර්ථිකයට සම්බන්ධ යි. ඒක වෙන කවුරුවත් එක්ක කතා කරන්න දෙයක් නෑ. මේක සේවකයින් වෙනුවෙන් සාමුහිකව ගත්ත තීරණයක්.”