ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රජයේ වනාන්තර හෙක්ටයාර් 70,000ක් විනාශයි – මහා පරිසර විනාශයක් ගැන හෙළිදරව්වක්

දිවයින පුරා ඇති රජයේ වනාන්තර හෙක්ටයාර් 70,000කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේත් එළි පෙහෙළි කරමින් පවතින බවට පරිසරවේදීහු චෝදනා කරති.

මෙම වනාන්තර විනාශ කිරීම් අතරින් විශාලතම වන සංහාරය සිදුවන්නේ කැබිලිත්ත රක්ෂිතයේ හා ඒ ආසන්න ඇතිමලේ, කොටියාගල රක්ෂිත වනාන්තරවල යැයි “පරිසර යුක්ති කේන්ද්‍රයේ” උපදේශක හේමන්ත විතානගේ පැවසීය.

කැබිලිත්ත වනාන්තරයේ හෙක්ටයාර් 12,000ක් පමණ මේ වනවිට එළි පෙහෙළි කරමින් පවතින අතර ඊට ආසන්න කොටියාගල රක්ෂිතයේ හෙක්ටයාර් 25,000කට ආසන්න ප්‍රමාණයක් ද විනාශ කර ඇතැයි හෙතෙම කීය.

කොටියාගල රක්ෂිතය විනාශ කිරීම ආරම්භ වූයේ, මීට දශක දෙකකට පමණ එපිට සිට බවත් එය තවමත් විනාශ කෙරෙමින් පවතින බව ත් ඔහු සඳහන් කළේ ය.

මේ අතර, පොල්ලෙබැද්ද ප්‍රදේශයේ හෙක්ටයාර් 1000ක් පමණ ද, නිල්ගල රබර් හා රඹුටන් වැවීමට යැයි කියමින් තවත් හෙක්ටයාර් දහසක් පමණ විනාශ කරන බව පරිසරවේදී හේමන්ත විතානගේ පෙන්වා දුන්නේ ය.

නාකොලගනේ රජමහා විහාරයේ නින්දගම් යැයි කියමින් රජයේ ඉඩම් ප්‍රමාණයක් ද ඒ සමග එළි පෙහෙළි කරන්නේ යැයි කී ඔහු වේලිඔය ගඟේ ඉහළ කෙළවරේ බෝගහපැලැස්ස ප්‍රදේශය දැව ජාවාරම්කරුවන් අතට පත්ව ඇතැයි ද කීය.

පොතුවිල් ප්‍රදේශයේ නීතිය අතට ගත් ඇතැමුන් හොර ඔප්පු මගින් වනාන්තර ඉඩම් ඇල්ලීම දිගින් දිගටම කරන බව ත්, නකල්ස් කලාපයේ ද තැනින් තැන ඉඩම් ඇල්ලීම සිදුවන බවත් හෙතෙම කීය.

මේ අතර සිංහරාජ වැසි වනාන්තරය වටා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් මහා පරිමාණයෙන් විනාශ කෙරෙමින් පවතින්නේ යැයි ද විතානගේ මහතා සඳහන් කළේ ය.