සිරිල් ගාමිණි පියතුමන් ගේ ප්රකාශය සටහන් කරගැනීම ඇරඹේ – CIDය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්..!
සිරිල් ගාමිණී පියතුමන් මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මේ වන විට සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප්රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
එසේම සිරිල් ගාමිණී පියතුමන් හට සහය දැක්වීම පිණිස පියතුමන්ලා ප්රධාන ගිහි පැවිදි විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වී සිටින බව ද වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව විදෙස්ගත ශ්රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගිය 23 වන දා සූම් ඔස්සේ පැවති සංවාදයකදී පාස්කු ප්රහාරය පිළිබඳ ජාතික ප්රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ ප්රකාශ කිහිපයකට එරෙහිව රාජ්ය බුද්ධි සේවයේ අධ්යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගිය 25 වන දා පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔක්තෝබර් 28 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ සිරිල් ගාමිණි පියතුමාන් ඉල්ලා තිබුණේ, ඒ සඳහා තමන්ට සතියක කාලයක් ලබා දෙන ලෙස ය.
සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෙනත් පියතුමන්ලා තිදෙනෙකු මාර්ගයෙන් එම ඉල්ලීම කර තිබිණි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කර තිබිණි.
ඒ අනුව, පසුගිය 3 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් එම පියතුමන් දැනුම් දී තිබුණේ, මේ වන විට තමන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් එදින ද තමන් එහි නොපැමිණෙන බව ය.
අනතුරුව නොවැ. 8 වන දා එම පෙත්සම කැඳවා තිබුණු අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හරහා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ සිරිල් ගාමිණී පියතුමන්ව මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව ය.