ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දශක හතකට වැඩි අත්හදා බැලීම් ප්‍රමාණවත්… අපි දැන් අලුත් රටක් හදමු – අනුර දිසානායක (වීඩියෝ)

අප දශක 7කට වැඩි කාලයක් විශාල අත්හදා බැලීම් ප්‍රමාණයක් සිදුකොට ඇති බවත්, එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක,   ඔහුගේ බිරිඳ, ඔහුගේ දියණිය, ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක   සහ ඔවුන්ගේ ඥාතීන්, මහින්ද රාජපක්‍ෂ  , ඔහුගේ සොහොයුරා ගෝඨාභය රාජපක්‍ෂ සේම මුදල් අමාත්‍යවරයා හැටියට අනෙක් සොහොයුරාත් පත්කරගෙන කර ඇති අත්හදා බැලීම්  ඉදිරියේ තිබෙන ශේෂ පත්‍රය වන්නේ දූෂිත භාවය ඉහවහා ගිය සමාජයක්, කඩා වැටෙන ආර්ථිකයක්, සහ අපරාධවලින් පිරුණු සමාජයක් බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවති පැවති  32 වන ඉල්මහ විරු සමරුව අමතමිනි.  

“අපි ඔබට යෝජනා කරන්නේ මේ රට නව පරිවර්තනයකට  ලක්කළ යුතු බවයි.  ඒ වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරනවා. අපි එළඹී සිටින්නේ ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකට. මේ සන්ධිස්ථානයේදී රට ගොඩනැගීමේ දිශාවට ගෙන යන්න ඕනෑ. අන්න ඒනිසා තමයි 1988-89 කාලයේ දිවිපිදූ අපේ වීරවරයන් සහ වීරවරියන් සැමරිය යුතු වෙන්නේ.“  අනුර කුමාර දිසානායක කීවේය.

  • සන්නද්ධ ගැටුමක් කියන්නේ සුන්දර සිහිනයක් නෙවෙයි. අපි පිළිගන්නවා, අප අතින් සිදු නොවිය යුතුදේ සිදුවී තිබෙන බව. ඒ පිළිබඳව කම්පනයක්, කනගාටුවක් අපට තිබෙනවා.  
  • ගතවුණු දශක 2කට වඩා වැඩි කාල පරිච්ඡේදය තුළ සාධනීය දේ අපි ඉතා හොඳින් උකහා ගෙන නිෂේධනීය දේ ඉතා හොඳින් බැහැර කළ බව අපේ දේශපාලන භාවිතයෙන් ඔප්පු කොට තිබෙනවා. හැබැයි අපි අත් නොහරින දෙයක් තිබෙනනවා. එදා 1988-89කාලයේ පැන නැගුණු අරගලය තුළ තිබුණු අරමුණු . 
  • මව්බිමේ ස්වෛරීභාවය, මව්බිමේ නිදහස පිළිබඳ අරගලය,   ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලය, පොදු ජනතාවගේ ආර්ථික  අයිතිවාසිකම් පිළිබඳ අරගලය අප කිසි සේත්ම අත්හරින්නේ නැහැ. හැබැයි තවදුරටත් සන්නද්ධමය ක්‍රියාකාරකම් ඒ අරගලයේ ප්‍රධාන මෙවලමක් නොවන බව අපි තේරුම් ගන්නවා.

ඔහු ඒ අවස්ථාවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.  

අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, අපේ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන් දහස් ගණනක් එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ මිනීමරු ආණ්ඩුව විසින් ඝාතනය කළා.  ඔවුන් අනුස්මරණය කරන්නත්, එදා තිබුණු දේශපාලනයත් වගේම එම  අරගලයේ දිශානතියත් පිළිබඳ සාකච්ඡා කරන්න මේ අවස්ථාව යොදා ගන්නවා. අපේ රටේ මියගිය අය පිළිබඳව ඕනෑ තරම් ගුණානුස්මරණ උත්සව පවත්වනවා. මේ එවැනි  වර්ගයේ  එකක් නෙවෙයි. 1988-89 කාලයේ අපේ රට තිබුණු තත්වයත්, මාතෘභූමියේ නිදහසත් සාතිශය බහුතර ජනතාවකට ආර්ථිකයේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමත් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අරගලයක් දියත් වුණා. ඒ පිළිබඳව බොහෝ අය විවිධ නිර්වචන ඉදිරිපත් කරමින් තිබෙනවා. අපේ සතුරන් ප්‍රබලතම අවලාද සහ විවේචන ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ, 1988-89 අරගලය අපි පරාජයට පත්වී සතුරා ජයග්‍රහණය කළ නිසා.

ඉතිහාසය හැමදාමත් ලියන්නේ ජයග්‍රහාකයා විසින්. 1988-89 අරගලය පිළිබඳවත් ඔවුන් විවිධ වැරදි අදහස් සමාජගත කර තිබෙනවා. ඒ නිසා අපේ රටේ වර්තමාන තරුණ කණ්ඩායම් එවැනි කරුණු පිළිබඳව පුනරුච්චාරණය කරමින් තිබෙනවා. මේ නිසා 32වැනි ඉල්මහ සමරුවේදී සැබවින්ම සිදුවූයේ කුමක්ද? සහ  අප  උකහා ගත යුත්තේ  මොනවාද, අපි අත්පත් කරගත යුතු දේ මොනවාද, අප අත්හළ යුතු දේ මොනවාද කියලා සාකච්ඡාවක් කරගත යුතු වෙනවා.

අපේ රට 1948දී දේශීය ධනපති පංතියක් අතට පැවරුණා. ඔවුන්  රට ගෙනගියේ කුමන දිශාවකටද? ආර්ථිකය බිඳ වට්ටන සාතිශය බහුතර ජනතාවක් දුක්ඛදායක තත්වයට පත්කරවන මාවතක ඔවුන්  ගමන් කළා. ඒ වගේම අපේ රටේ  සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරනවා වෙනුවට ඇන කොටා ගන්නා ගැටුම්කාරී දේශපාලනයක් දියත් කර තිබෙනවා. ඒ හා සමාන ලෙස අපේ රටේ ජාතික සම්පත් සහ දේශපාලනය මුළුමනින්ම ලෝක බලවතුන් හමුවේ උගස් තබන දේශපාලන ක්‍රියාවලියක් දියත් කර තිබෙනවා. ඒ නිසා අදත් එදා වගේම මේ දේශපාලන, ආර්ථික, ගමන වෙනස් කර ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කළ යුතුයි. අද ඒ වුවමනාව එදාටත් වඩා තිබෙනවා. අද එදාටත් වඩා ඒ වුවමනාව අභියෝගයක් වී පවතිනවා. ඒ වෙනුවෙන් අපි අරගලයක් දියත්කර තිබෙනවා