එක රටක් – එක නීතියක් කියලා කිව්වාට එහෙමම කරන්න බෑ – ප්‍රසන්න රණතුංග
මෙරටට සංචාරකයින් ගෙන්වද්දී භාවිතා කරන නීතියම මෙරටට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෙන්වීම සඳහා භාවිතා කළ නොහැකි බව සංචාරක, සිවිල් ගුවන් සේවා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. හැමෝම කිව්වා එක රටේ එක නීතියක් කියලා, එක නීතියක් විදියට කටයුතු කරන්න බෑ. සංචාරකයින්ට ගේන නීතිය විදේශ රටවල ඉන්න අපේ ශ්‍රමිකයින්ට ලබාදෙන්න බෑ. අපි ගේන සංචාරකයො මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලාංකිකයින් එක්ක සමාජගත වීමක් නොවන නිසා බයෝ බබ්ල් එකක් හැටියට කටයුතු කරනවා.
“උදයංග වීරතුංග නෙමෙයි මෙතන ඉන්න ඕනෙම කෙනෙක් රටට සංචාරකයෙක් ගේනවා නම් මැදිහත් වෙලා ඒ සඳහා අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ යුක්‍රේන සංචාරකයින් ගෙන්වීමේදී උද්ගතව ඇති ගැටළු සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂය නැඟූ චෝදනා වලට පිළිතුරු දෙමිනි.
බොහෝ දෙනෙක් කතා කළා යාල රියදුරන් සම්බන්ධව. අපි මේක පැහැදිලිවම ගයිඩ්ලයින් දීලා තියෙනකොට එතන අපෙන් පොඩි අඩුපාඩුවක් වුණා, අපි පිළිගන්නවා මොකද සෞඛ්‍ය මාර්ගෝපදේශ ටික ඒ අයට හරියාකාරව යන්න බැරිවුණා මාර්ගෝපදේශ ප්‍රමාද වෙච්ච නිසා. මේක නියමු ව්‍යාපෘතියක්. මේකෙ අඩුපාඩු වෙනවා.
උදයංග වීරතුංග මහත්තයාත් අපෙ බබ්ල් එක ඇතුළෙ ඉන්නවා. එයා කරන දේ මම හරියි කියන්නෙ නෑ. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි රටට සංචාරකයො ගේන්නෙ වෙන මොකටවත් නෙවෙයි, මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30ක් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.