ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02Slider

ව්‍යවස්ථාවේ තිබුණාට මූලික අයිතිවාසිකම් මිල අධික කටයුත්තක් වෙලා – මහාචාර්ය දීපිකා උඩගම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ආණ්ඩුව පත් කළ විශේෂඥ කමිටුවකින් ඒ සඳහා වන මහජන යෝජනා කැඳවීමක් සිදු කරනු ලැබ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ මොනවගේ අදහසක්ද දරන්නේ?

මේවා නිර්මාණය කරන්නේ බලය දරන, බලය ලබාගැනීම සඳහා සටනක යෙදී සිටින දේශපාලනඥයන් විසින් නම්, එය ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙයිද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ජනතාවගෙන් යෝජනා ඉල්ලා සිටිනවා වගේම ජනතාව යෝජනා ඉදිරිපත් කළාම ඒවාට ඇහුම්කන් දිය යුතු වෙනවා. එසේ නොවේ නම් යෝජනා ඉල්ලා සිටීමේ තේරුමක් නෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක මූලික නීතිය නිසා, එය සකස් කිරීමේදී වඩාත්ම සැළකිලිමත් විය යුත්තේ ජනතාව මොනවාද ඉල්ලන්නේ කියන එක ගැනයි.

ඔබ දකින ආකාරයට ජනතා අරමුණු මුදුන්පත් වන ආකාරයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැකිවන්නේ කොහොමද?

දකුණු අප්‍රිකාව, නේපාලය යන රටවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ සහ අවශ්‍ය ඒ අංග කුමක්ද කියන එක හඳුනාගන්න වෙනමම ව්‍යවස්ථා මණ්ඩල තෝරා පත්කර ගත්තා. ඒවායේ සාමාජිකයන් දේශපාලනඥයෝ නොවෙයි. ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාධරයින්, විවිධ රැකි රක්ෂාවල නියුතුවූවන්, විශ්‍රාමිකයන්, කාන්තා නියෝජිතයන්, පමණක් නොවෙයි නොයෙක් පදනමින් සමාජයෙන් කොන් වුණු ජන කොටස්වල නියෝජිතයන්ද වුණා. නමුත් මෙතැනදි ඒක පාර්ශ්විකව පත් කරලා තියෙන්නේ විශේෂඥ කමිටුවක් පමණයි. ඒ නිසා කමිටුව මූලික වශයෙන් තේරුම් ගන්න ඕනේ මේක ජනතාවගේ පැත්තෙන් බලන්න ඕනේ කියන එක. මොකද ඔවුන් පත් කළෙත් ජනතාව විසින් නොවෙයි දේශපාලන අධිකාරිය විසින්. දේශපාලන අධිකාරිය පත් කළ කමිටුවක් නිසා කමිටුව මේ දිහා බලන්නේ දේශපාලන කෝණයකින් නම්, සිදුවිය යුත්තේ එය නොවෙයි. ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැන් අවුරුදු දෙසිය ගාණක් වෙනවා. සංශෝධන කිහිපයයි සිදු කරලා තියෙන්නේ. නමුත් දිගටම ඒක අල්ලගෙන ඉන්නවා. 2020 ජනාධිපතිවරණය පිළිබඳ ඇතිවුණු නොයෙකුත් අර්බුද ඔවුන්ට සාමකාමී විදිහට විසඳාගන්න ලැබුණේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තියන විශ්වාසය සහ කැපවීම නිසයි. ඒ රටේ ජනතාවගේ මූලිකම දේශපාලන අනන්‍යතාව ඇතිවෙලා තියෙන්නේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මහා බි්‍රතාන්‍යයේ ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතත් එහිත් එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි. විශාල භක්තියක් තියනවා ජනතාවට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. ජනතා සිත් සතන් තුළ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුයි ඒක දීර්ඝ කාලීනව පවතින්න නම්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුත්තේදී මානව හිමිකම් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමුවෙන්නේ කොයි විදිහටද?

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බොහෝ අය අවධානය යොමු කරන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට. ශ්‍රී ලංකාව පිළිඅරන් තියන ජාත්‍යන්තර මානව හිමිකම් මිනුම්දඬු දිහා බැලුවාම අපගේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ඇතුළත් වෙලා තියෙන්නේ ඉතාමත් සීමිත ලැයිස්තුවක්.

අපි ව්‍යවස්ථාවට ඉතා හොඳ මානව හිමිකම් පරිච්ඡේදයක් සකසාගත්තත්, නිසි ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය බලය හොබවන අය ජනතාවට වගවන ආකාරයට මුළු ආණ්ඩුක්‍රමයම නිර්මාණය කරගත්තේ නැත්නම් කොච්චර ලස්සන මූලික අයිතිවාසිකම් හෝ මානව හිමිකම් පරිච්ඡේදයක් තිබුණත් ඉන් වැඩක් වෙන්නේ නෑ. ජනතාව මානව හිමිකම් සම්බන්ධයෙන් කරන ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න රාජ්‍ය තන්ත්‍රය බැඳිලා ඉන්නවා. දැන් තියන මූලික ප්‍රශ්නය ජනතාව ඉල්ලන සහන නීති මාර්ගයෙන් ලබාගන්න පුළුවන්ද කියන එකයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතන තුන අතර මනාව බලය බෙදී ගොස් තියෙන්න ඕනේ. ඒ බල විභේදනයට අමතරව ඉතාමත් වැදගත් වෙන්නේ සංවරණ හා තුලන ක්‍රමය. එක් ආයතනයක් කරන දේ අනෙක් ආයතනයක් විසින් අධීක්ෂණය කොට එය නිවැරදි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ නිසා තමයි අපි නිරන්තරයෙන්ම කියා සිටින්නේ ආයතනවල ස්වාධීනත්වය තහවුරු කරන එක අතිශයින්ම වැදගත් කියන එක. එතනදි විශේෂයෙන්ම වැදගත් වෙනවා අධිකරණයේ ස්වාධීනත්වය. එසේ නැත්නම් මානව හිමිකම් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මොනතරම් ලස්සන දේවල් කියා තිබුණත් ඒවා භුක්ති විඳින්නට ජනතාවට තිබෙන ඉඩ කඩ බොහොම අඩුයි.

ආයතනවල ස්වාධීනත්වය තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් 19 වෙනි සංශෝධනය මගින් හදුන්වා දුන් කොමිසන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේ තනි බලය 20 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා අතට අරගෙන තිබීම ගැන ඔබගේ මතය මොකක්ද?

බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදය නඟා සිටුවන ආයතන විදිහට කොමිසන් සභා පිහිටුවනවා. අපි දැනට විශ්වාස කරන්නේ ලෝකයේ තිබෙන ඉතාමත්ව දියුණුම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වන්නේ දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව කියලයි. එහි වෙනමම පරිච්ඡේදයක් තියනවා මේ විදිහේ ප්‍රජාතන්ත්‍රවාදය නඟා සිටුවීමේ ආයතන ගැන. එතනදි විශේෂයෙන්ම දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නඟා සිටුවීමේ වැදගත්කම වන්නේ ස්වාධීනත්වය තහවුරු කරන එක. 19 වෙනි සංශෝධනයේ එක් මූලික අරමුණක් වුණේ අධිකරණයත්, මේ කොමිසන් සභාත් ස්වාධීන ආකාරයෙන් කටයුතු කරන තැනට පත් කිරීම තහවුරු කරන්නයි. ධුර කාලය තුළ ඒ නිලධාරියාට ආරක්ෂාවක් තියෙනවාද? එහෙම නැත්නම් ඕනේ වෙලාවක දේශපාලන පදනම මත ඉවත් කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්නවලට හොඳ පිළිතුරු ව්‍යවස්ථාවක තිබිය යුතුයි. ඔය පත්වීම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන්න 19 සංශෝධනයේ ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් සකසා ගැනීම ඉතා වැදගත් වන්නේ

20 වෙනි සංශෝධනය සම්මත වූ ආකාරයෙන් පෙනෙන්නේ 19 වෙනි සංශෝධනය සම්මත කළ අය පවා අද වන විට එය ප්‍රතික්ශේප කරන බවත්, රජයේ උසස් නිලතලවලට පුද්ගලයන් පත් කිරීම පෙර පැවතියාක් මෙන් ජනාධිපති ධුරය සතු බලයක් විය යුතු බවත් නේද?

විසිවෙනි සංශෝධනයට ලැබිච්ච ඡන්ද දිහා බැලුවාම පේන්නේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම මූලධර්ම සලකා බලා කළ දෙයක් නොවෙන බවයි. ඒ ඡන්ද ප්‍රකාශ කිරීම සිදුව තියෙන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන පදනමක් මත පිහිටලා බව පැහැදිලියි. 19 ප්‍රතික්ශේප කිරීමේ අවශ්‍යතාව වුණේ විධායක ජනාධිපති ධුරයේ බලතල ඒකරාශි කරන එකයි. ඒක පක්ෂ දේශපාලනය තුළින් එන එකක්. එනිසා එය දේශපාලනිකයි. එතනදි පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම මූලධර්ම සලකා බලා කළ එකක් නෙවෙයි. නමුත් 19 වෙනි සංශෝධනය සම්මත වෙන්නේ එහෙම නෙවෙයි. ජනතාවගෙන් තිබුණු දැඩි ඉල්ලීමක් මත. ජනතාව තේරුම් අරගෙන තිබුණා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ස්වාධීනවීමේ වැදගත්කම. නමුත් පසුගිය රජයේ ඇතිවුණු දේශපාලනික ප්‍රශ්න සහ ආණ්ඩුවේ දුර්වලතා ඉස්මතුවෙලා පෙනෙන කොට ඒවා සම්බන්ධ කරගත්තා 19 වෙනි සංශෝධනයට. නමුත් ඒ රජයේ තිබුණු විශාලතම ශක්තිය වුණේ ස්වාධීන ආයතන සහ නිදහස්ව කටයුතු කළ අධිකරණය. නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුම් නිසා මතයක් ගොඩ නැඟුවා පොලිස්පතිතුමා අයින් කරන්නවත් ජනාධිපතිතුමාට බලයක් නෑ කියලා. නමුත් කරුණු තිබුණා නම් පොලිස්පතිතුමා අයින් කරන එක වෙනම පනතක් යටතේ පාර්ලිමේන්තුවෙන් කරන්න තිබුණු දෙයක්. ඒකට නීතියක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය හඹාගෙන ගියා නම් කළ යුතුව තිබුණේ 19 වෙනි සංශෝධනයේ තිබුණු දුර්වලතා මඟ හැරලා එය තවත් ශක්තිමත් කිරීමයි.

පුරවැසි බලය නියෝජනය කරන්නේ එන්ජීඕ නඩයක් බවටත්, ජනතාවට කිසිම ආකාරයක වගකීමක් නොමැති එවැනි පිරිස් ව්‍යවස්ථාදායක සභාව, කොමිසන් සභා ආදිය නියෝජනයට කොහෙත්ම සුදුසු නැති බවටත්, ඒවා නියෝජනය කළ යුත්තේ මහජන නියෝජිතයන් බවටත් ඉදිරිපත් කෙරෙන මතය ගැන ඔබ මොකද හිතන්නේ?

එතනදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පත්කරනු ලැබූ පුරවැසියන් සමාජයේ ගෞරවයට පත් පුද්ගලයන්. මහජන නියෝජිතයන්ට වගේම ඔවුන්ටත් ජනතා පරමාධිපත්‍ය බලයේ නියෝජනයක් තිබුණා. මොකද ඔවුන්ගේ නම් අනුමත කෙරුණේ පාර්ලිමේන්තුවෙන් නිසා. ඒ වගේමයි එය පාර්ලිමේන්තුවට වග කියන මණ්ඩලයක්. ඒ නිසා ඔය ඉදිරිපත් කරන අදහස වැරදි එකක්. මේවා අලුත් ලක්ෂණ නෙවෙයි. වෙනත් රටවල සිදුව තිබෙන දේවල්. මහජන නියෝජිතයෝ ජනතාවට වගකිව යුතු නමුත් අනෙක් පැත්තෙන් පිළිගැනීමක් තියනවා මහජන නියෝජිතයෝ ගොඩක්ම අවධානය යොමු කරන්නේ දේශපාලන බලය පිළිබඳවයි කියලා. ඒ නිසා ඔවුන් අතින් ජනතාවගේ අයිතිවාසිකම් එතරම් ඉහළ මට්ටමින් නඟා සිටුවීමක් වෙයිද කියන එක ගැන සාධාරණ සැකයක් තියනවා. ඒ නිසයි අපි කියන්නේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු ස්වාධීන පුද්ගලයන් මේවාට පත්විය යුතුයි කියලා. අධිකරණයට සහ මේ ආයතනවලට පුද්ගලයන් පත් කිරීමේදී එය තනි පුද්ගලයකුගේ අභිමතයට සිදු නොවී සාමූහික එකඟත්වයකින් සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි ඉතාමත් වැදගත්. ඒ වගේමයි සංවරණ සහ තුලන ක්‍රමයක් පැවතීම. දැනට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තිබෙන මානව හිමිකමක් උල්ලංඝනය වුවහොත් එය ප්‍රශ්න කළ හැකිවන්නේ එම උල්ලංඝනය විධායකයෙන් හෝ පරිපාලනයෙන් සිදු වුවහොත් පමණයි. ඒක ලොකු ප්‍රශ්නයක්. බොහෝ සාර්ථක රාජ්‍ය පාලන ක්‍රමවල තියන මූලික ලක්ෂණයක් තමයි පාර්ලිමේන්තුව සම්මත කරගත් නීතියක් වුවත් එයින් ජනතාවගේ අයිතිවාසිකම් කැඩෙනවා නම් ජනතාවට අධිකරණය ඉදිරියේ ඊට අභියෝග කිරීමේ හැකියාව තිබිය යුතුයි. දැනට ඉදිරිපත්ව තිබෙන තවත් අදහසක් තමයි රාජ්‍ය බලය හොබවන ආයතන විසින් පමණක් නොවෙයි පෞද්ගලික අංශයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කරන විට ඊට සාර්ථක විදිහට පිළියම් යෙදීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කළ යුතුයි කියන එක. වර්තමානයේ ලෝකයේ හැම තැනකම වාගේ ආර්ථිකය මෙහෙයවන්නේ බහු ජාතික හෝ දේශිය විශාල සමාගම්. ඒවා ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති කරනවා. අපි මේ වගේ අදහස් ඉදිරිපත් කරන කොට අපි එන්ජීඕකාරයෝ කියලා ඔච්චම් කරනවා. ඒක ජනතාව මුලා කරන්න කරන දෙයක්. මොකද එතකොට ජනතාවගේ අවධානය අර අදහස් කෙරෙහි යොමුවෙන්නේ නෑ. එතකොට ජනතාව මුලා කරගෙන ඕනේ දෙයක් කරන්න පුළුවන්.

ආර්ථික සහ සමාජිය අයිතිවාසිකම් තහවුරු කිරීමට නව ව්‍යවස්ථාව කෙසේ යොදාගත හැකිද?

1972 සහ 78 ව්‍යවස්ථා දෙකෙන් එකකින්වත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවලට තිබෙන අයිතියවත් මානව හිමිකමක් විදිහට හඳුනාගත්තේ නෑ. නමුත් ජනතාව අද දවසේ මේවා දිහා බලන්නේ අයිතියක් හැටියට. එපමණක් නෙවෙයි ගමනාගමනයට, පිරිසිදු ජලය ලබාගැනීමට ආදියටත් අයිතියක් තිබෙන බවයි ජනතාව දැන් කියන්නේ. ඉකුත් ආණ්ඩු සමයේ ලාල් විජේනායක කමිටු වාර්තාවේ මේක හොඳට පේනවා. ජනතාව මේවාත් අයිතිවාසිකම් හැටියට පිළිඅරගෙන අවසන් වුවත්, මේවා දැනට මූලික අයිතිවාසිකම් නීතිය යටතේ නෑ. ඒ නිසා මේ අයිතිවාසිකම්ද ඇතුළත් කරන එක අතිශයින්ම වැදගත්. මානව හිමිකම් කියන්නේ ජනතාවට හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන අයිතිවාසිකම්වලට. එතකොට ඒවායින් කොටසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාලා, අනෙක් කොටස අමතක කරන්ඩ හැකියාවක් නෑ. ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සම්මුති පිළිගැනීම පිළිබඳව ලංකාවට හොඳ වාර්තාවක් තියනවා. මේවායේ වාසිය ජනතාවට ලැබෙන්න ඕනේ. ජාත්‍යන්තරව සම්මත කරලා තියන අයිතිවාසිකම් දේශියව පිළිගෙන තිබෙන ඒවාට වඩා ඉතාමත් පුළුල්.

අලුත් අංග මානව හිමිකම් පරිච්ඡේදයට ඇතුළත් කරගැනීම පිළිබඳව අපි සාකච්ඡා කළත් බහුතර ජනතාව වැඩි වශයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ දැනට තියන මූලික අයිතිවාසිකමක්වත් ලබාගන්නේ කොහොමද කියන කාරණය ගැනයි. ඒ සම්බන්ධයෙන් ඔබගේ දැක්ම මොන වගේද?

මූලිකවම වැදගත් වෙන්නේ ස්වාධීන කොමිසන් සභා සහ ස්වාධීන අධිකරණයක් තිබීම සහ සමානාත්මතාවය පිළිබඳව බොහොම ප්‍රබල ප්‍රතිපාදනයක් තිබීමයි. ඒ වගේම අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ තිබුණාට ඒකට ප්‍රවේශ වෙන්නට ජනතාවට හැකියාවක් නැත්තේ එය බොහොම මිල අධික කටයුත්තක්ව පවතින නිසා. අධිකරණ ක්‍රියා පටිපාටිය ජනතාවට තේරෙන්නෙත් නෑ. ඒ නිසා නීති ආධාර දීම බොහොම වැදගත්. ඒ වගේම සමාජයෙන් කොන්වන කණ්ඩායම්වල අයිතිවාසිකම් පිළිගන්නත් ඕනේ. එය අතිශයින්ම වැදගත්. උදාහරණ විදිහට වාර්ගික පදනම මත, ස්ත්‍රී පුරුෂභාවය මත, ලිංගිකත්වය මත, අබාධිතභාවය මත වෙනස්කම්වලට ලක්නොවන ලෙසින් සියල්ල සමානාත්මතාව මත පිළිගන්නා ක්‍රමයක් අවශ්‍යයයි. ළමා, කාන්තා, සිරකරුවන්, ආදීවාසීන්ගේ අයිතිවාසිකම්, කණ්ඩායම් අයිතිවාසිකම් පිළිගන්නත් ඕනේ. සහන ලබාගැනීම සඳහා වන නීතිය ජනතාවට වඩා පහසු විය යුතුයි. අද දවසේ ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයටම යන්න ඕනේ. මාසයක් ඇතුළත යන්න ඕනේ. තුන්වෙනි පාර්ශ්වයකට යන්න බෑ. ඒ නිසා බොහෝ අයට මානව අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාදාමයට එක්වෙන්න බෑ. ඒ නිසා මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය පළාත් මට්ටමින් ඉහළ අධිකරණවලට විමධ්‍යගත කරන්න ඕනේ. තුන්වෙනි පාර්ශ්වයකටත් පෙත්සම් ඉදිරිපත් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ජනතාවට තේරෙන භාෂාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටුම්පත්වීමත් අතිශයින්ම වැදගත්. දැන් ජනතාවත් නීතියත් අතර විශාල පරතරයක් තියනවා. එය බොහොම සමීප සම්බන්ධතාවක් බවට පත් කරගැනීමට නීතියේ භාෂාව ලිහිල් කරගැනීමත් ඉතාමත්ම වැදගත්. නීතියේ පුරුෂ මූලික ලේඛන රීතියත් වෙනස් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැමෝගෙම නීතිය වෙන නිසා ඒ සඳහා හැම උපක්‍රමයක්ම යොදාගත යුතුයි.

ශ්‍රීලාල් සෙනෙවිරත්න – Ravaya