ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන් සැකකරුවෙක් ලෙස නම් කිරීමට නීතිපති උපදෙස්

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී ගිනිගත් නිව් ඩයමන්ඩ් තෙල් නෞකාවේ කපිතාන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නොතීසි ලබාගන්නා ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නීතිපතිවරයා විසින් අද (16) උපදෙස් ලබාදී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ නිව් ඩයමන්ඩ් නෞකාවේ නඩු කටයුත්තට අදාළ ලේඛන, වාර්තා සහ ප්‍රකාශ නීතිපතිවරයාගේ අවධානයට ලක්වූ බවය.

“ඒ අනුව ඔහු විසින් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම බොරතෙල් නෞකාවේ කපිතාන් වන තිරෝස් ඉලියාස් නම් ග්‍රීක ජාතිකයා සැකකරුවෙක් ලෙස එම නීති කෘතය සම්බන්ධයෙන් නම් කරන ලෙස ට උපදෙස් ලබාදීමක් සිදුකළා,” යනුවෙන් ඇය පැවසීය.

ඇය වැඩිදුරටත් පැවසුවේ එම සැකකරු 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළක්වීම පිළිබඳ පනතේ 25, 26, 38 සහ 53 වන වගන්ති යටතේ දඬුවම් ලැබීම සම්බන්ධව ප්‍රමාණවත් කරුණු එනම් “සාධාරණ සැකයක්” ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයාගේ මතය බවය.

එබැවින් එම කපිතාන් වන සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ  ප්‍රතිපාදනයන් ප්‍රකාරව සාක්ෂි සම්පිණ්ඩනයක් සමග මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දී තිබේ.