තුනෙන් දෙකේ බලය ගන්න මෛත්‍රීට දොලපිදේනියක් – ව්‍යවස්ථා සංශෝධනයකින් ‘නියෝජ්‍ය අගමැති‘ තනතුරක් ලබාදීමට මහින්ද එකගවෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුව තුළ කුඩා පක්ෂ කිහිපයක සහයෝගයත් සහිතව තුනෙන් දෙකක බලයක් තිබුණ ද එහි තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වීම මීට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකුත් සමඟ ශ්‍රීලනිපය මන්ත්‍රී ධුර 15ක් දිනාගෙන සිටින අතර ඔවුන්ගේ සහයෝගයෙන් තොරව ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලැබෙන්නේ නැත.
ඒ අනුව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් දැනට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නොමැති නිසා ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර එම තනතුර නිර්මාණය කර, මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඊයේ(12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්න ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයේ කිසිදු ඇමති ධුරයක් හිමි නොවී ය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වනු ඇති බවට වාර්තා පළවී තිබුණද ඒ මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර නොගැනීම මේ වනවිට කාඅතරත් කතාබහට ලක්වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී ඔහු මානාප ඡන්ද 111 137 ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැන්නා බවට ද පත්විය.