එජාප නායකත්වයට තවත් නම් 3ක්
මෙවර මහ මැතිවරණයෙන් ලද දරුණු පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ නිලධාරී මඩුල්ල පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණි.
එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ තමා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවය.
පක්ෂ නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වී තිබුණි.
මේ අතර නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජේවර්ධන යන මහත්වරුන් මෙන්ම පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ නම ද යෝජනා වී ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.
මේ අතර නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වූ සාකච්ඡාව අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසේ දී පැවැත්වුණි.
නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද නොහැකි වූ බව පක්ෂ මහ ලේකම්වරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ නව නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන සිකුරාදා ප්‍රකාශයට පත්කරන බවය.