නායකත්වයේ සිහිනය මටත් තියෙනවා – ඒකට මට ඔබතුමාගේ සපොට් එක ඕනේ නැහැ – නවීන් දිසානායක
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයාගෙන් පසු තමන්ද එම පක්ෂයේ නායකධුරය දැරීමේ කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි. ඊයේ (24) නුවරඑළිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වු ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
සෑම කෙනෙකුටම සිහින තිබෙන බවත්, වයෝවෘධ වීමට පෙර එම සිහින ඉටු කර ගැනීමට සෑම කෙනෙකුම කැමැත්තෙන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
එහිදි ඔහු පැවසුවේ ” නායකතුමාට සිහින තියෙනවා වගේම අපි සියලුදෙනාටම සිහින තියෙනවා. වයසට යන්න ඉස්සෙල්ලා 60 වෙන්න ඉල්සෙල්ල අපි අපේ සිහින සැබෑ කරන්න අවශ්‍යයි. ” යනුවෙනි.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාත් සමග අත්වැල් බැඳගනිමින් සිය සිහින ඉටු කරගැනීමට බලාපොරොත්තු වන නමුත් ඒ සඳහා නායකවරයාගේ සහය අවශ්‍ය නොවන බවද ඒ මහතා පැවසීය.
එහිදි ඔහු පැවසුවේ ” ඔබ තුමාගෙන් පස්සේ නායකත්වය මමත් බලාපොරොත්තු වෙනවා. එකට මට ඔබතුමාගේ සපොට් එක ඕනේ නෑ. ඔබතුමා නිව්ට්‍රල් ඉන්න ඒ ෆයිට් එකේ. ඔබතුමා ස්වාධීනව ඉන්න. මිනිස්සුන්ගේ සහයෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ තැනට එන්න.”
එමෙන්ම පක්ෂය ඉතාමත් විධිමත්ව ප්‍රතිසංවිධානය විය යුතු බවත් එය පාක්ෂිකයින්ගේ බලාපොරොත්තුව බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.