අගමැතිගේ කමිටු වාර්තාව කුණු කූඩෙට – රාජ්‍ය සභාව යළි හදන්නේ මහජන බදු මුදලින්
කුරුණෑගල පිහිටි මත භේදයට තුඩු දී තිබෙන බුවනෙකබාහු රජුගේ රාජ සභාව යළි ප්‍රතිනිර්මාණය කිරීම මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන 05ක අනුග්‍රහය මත සිදු කරන බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව කුරුණෑගල මහා නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් සභාව, මධ්‍ය සංස්කෘතික අරමුදල සිය අමාත්‍යංශයේ ප්‍රතිපාදන මේ සඳහා ලබා දෙන බව ඔහු සඳහන් කරයි.
මේ රාජ සභාව කඩා දැමීම පිළිබඳව සොයා බැලීමට අග්‍රමාත්‍යවරයා පත් කළ පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව සිය වර්තාවෙන් යෝජනා කර තිබෙන්නේ කඩා බිඳ දැමූ පෞරාණික ස්ථානය එය කඩා බිඳ දැමූ අයගේ පෞද්ගලික මුදලින් එය යළි ගොඩ නැගිය යුතු බවය.
නමුත් කමිටු වාර්තාවේ සදහන් පරිදි මෙම බුවනෙකබාහු රජුගේ රාජ සභාව කඩා බිඳ දැමූ පුද්ගලයින්ගෙන් එහි අලාභය අයකර ගැනීම වෙනුවට මේ අනුව සිදුවන්නේ එහි බරත් ජනතාව මත පැටවීමයි.
මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුවට නොගැනීම සහ අලාභය ජනතාව මත පැටවීමේන් පෙනී යන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ප්‍රකාශ කල පරිදි ඔහු ඉන්නකන් නගරාධිපතිවරයාගේ ඇගේ මයිලකටවත් අත තියන්නට ඉඩදෙන්නේ නැතැයි යන ප්‍රකාශය සත්‍යයයක් වන බවයි.
දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභාව යළිත් ප්‍රතිනිර්මාණය කිරීම යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි.