ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-03Slider

තණමල්විල කොල්ලෙක්, තංගල්ලේ ලොක්කෙක් සහ බාලිකාවක දේවියක්

සති ගණනාවක් ආසාවෙන් බැලූ තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය ඊයෙන් (29) අවසන් විය. ඊළඟට බලන්න හොද ටෙලිනාට්‍යයක් එන්නේ කවදාදැයි අපි දැන් ඇඟිලි ගනිමින් සිටින්නෙමු. ඒතරමට හොඳ නාට්‍යය හිගය. ඇත්තටම ටෙලිනාට්‍යය නැතිකමක් නැත. ටෙලිනාට්‍යය නම් ඕනෑ තරම් තිබේ. නැත්තේ අපේ හිතට අල්ලන, අපේ රුචිකත්වය දිනාගන්නා ටෙලිනාට්‍යය. තණමල්විල කොල්ලෙක් ඉන් එකකි.

තණමල්විල කොල්ලෙක් යැයි කියූ සැනින්ම අපවෙත කැඳවන චමත්කාරජනක ආශ්වාදය, ‘යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදය’ යැයි කියූ සැනින් නොපෙනුන ගැඹුරට කැඳවාගෙන ගියේය. ආශ්වාදය, චමත්කාරය යටින් විනිවිද යන විරැකියාව, දිළිදුකම, අනාගතයක් ගොඩනගා ගැනීමට මාර්ගයක් නැතිකම, ජීවිත ගමනේ විවිධ බාධා කරදර ආදී දහසකුත් දේ ඒ යටින් දිවයයි. ජීවිතේ ඇත්ත තත්වය එයය. තණමල්විල ඇත්ත තත්වයද එසේය. නම ඇසූ සැනින් ආතල් ලෙස පෙනී ගියද තණමල්විල කොල්ලන්ගේ ඇත්ත තත්වය දුෂ්කරය, කර්කෂකය. අපි සමග ඇත්තටම තණමල්විලින් පැමිණි කොල්ලෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ විය. ඔහු ඇත්තවශයෙන්ම සුන්දර, තැම්පත්, අහිංසක චරිතයකි. එහෙත් ඔහු ගැන මිතුරන් විවිධ උපහාස කථා පටබැන්දේය.එම උපහාස කතා අතර ඔහුගේ නිවසට ගිය අපේ මිතුරන්ට ඔහුගේ පියා ඔහු ගැන කිව්වේ යැයි කියන කථාවක්ද විය. ”මේකා විභාග පාස්කරලා, කොළඹ ගිහිල්ලා මහත්තයලා එක්ක එකතුවුණු නිසා හොදයි නැත්නම් ගමේ හිටියා නම් ඕකා කෙහෙල් හොරෙක් හරි, හරක් හොරෙක් හරි වෙනවා” යැයි කියූ කථාවද එවැන්නකි. ඔය කථාව කියුවිට අපේ මිතුරා කියන්නේ ”එහෙ වෙන මොනවා කරන්නද බන්” යනුවෙනි. හේනක් කොටන්න, හිරේ යන්නට ඔහු අකමැති විය.

අපේ තණමල්විල කොල්ලාට උසස් පෙළ සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඒමට හැකියාව ලැබුණි. එහෙත් තණමල්විල දීප්තට ඒ අවස්ථාව උදා නොවුනි. තණමල්විල දීප්තලාගේ ජීවිතය දිග හැරෙන්නෙම එතැන් සිටය. එය දීප්තගේ පමණක් නොව රටේ තරුණයින් වැඩි දෙනෙකුගේ ඉරණමය. හරියට ට්‍රැක් එකකට නොවැටුනොත් ඔය මොනවා මොනවා හරි දේවල් කරමින් ජීවිතය ගොඩදා ගැනීම හැර වෙන විකල්පයක් අපේ රටේ තරණ තරුණියන් බොහෝ දෙනෙකුට නැත. එහින් තණමල්විල කොල්ලෙක්හි එක් ප්‍රකාශනයක් වන්නේ අපේ රටේ තරුණ තරුණියන් බොහෝ දෙනෙකුගේ පොදු ඉරණමය .අනෙක් අතට සුවිශේෂී අවස්ථාවන් ලැබීමය. දීප්තට නම් යශෝධරා අක්කා හමු විය. දීප්තගේ පස්සෙන් පාරෙන් ගොස් ඔහුට මාර්ගයක් තනා දීමට ඇය වෙහෙසුනේය. දීප්ත සිය ගමන ගියේ ඔහුගේ දක්ෂතාවය, හැකියාව සහ මනුස්ස වටිනාකම් නිසා බව පැහැදිලිවම ඇත්තය. එහෙත් යශෝධරා අක්කා හමු නොවන්නට දීප්තට සිය මිතුරන්ට වඩා වෙනස් ඉරණමක් අත්නොවීමට ඉඩ තිබුණි.

දීප්තලා වැනි තරුණයින් බොහෝ දෙනෙකුට යශෝධරා අක්කා වැනි කවුරුන් හෝ සිටිති. එහෙත් බොහෝ දෙනෙකුට එසේ නොමැත. ඔවුන් එවැනි කවුරුන් හෝ හොයා යති. එසේ සොයායෑම් තුළ සාර්ථකත්වයන් මෙන්ම වල්මත්වූවන්ද එමටය.

ඇත්තටම රටේ තත්වය වී ඇත්තේ එවැනි කිසියම්ම හෝ හවුහරණක්, ආධාරයක්, උපකාරයක්, හේත්තුවක්, තල්ලුවක් නැතිව ඉදිරි ගමනක් නොමැති වීමය. තනිවම නැගී සිටීමට වුවද කාගේ හරි අතේ ඉල්ලිය යුතුය. කාගේන් හරි උදව්වක්, උපකාරයක්, ආධාරයක්, අනුබලයක්, ලියුමක්, කියුමක්, රෙකමදෝරුවක් ලැබිය යුතුය යන අවසනාවන්ත තත්වයට රටම වෙලාගෙන හමාරය.

නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක වීඩියෝවක දැක්වෙන ආකාරයට ඔහු කෝච්චියෙන් බැස එනවිට තරුණ තරුණියන් පොරකා පැමිණෙන තත්වයක් පෙන්නුම් කරන්නේ ඒ නිසාය. නාමල් තරුණයින් අතර තරුණයින් වටකර ගන්නා තරුණයෙක් වන්නේ දේශපාලන බලය නිසාය. සිය පියාගේ දේශපාලන බලය නිසාය. නාමල් තණමල්විල කොල්ලන්ට වඩා වෙනස් ඉරණමක් උරුමකර ගන්නේ එවැනි සන්දර්භයකය. සිය පියා දේශපාලනය තුල රැස්කර ගත් ධනය බලය කීර්තිය-අපකීර්තිය ආදිය නිසා මිනිස්සු ඔහු පස්සෙන් පාරෙන් වැටී ඇති ආකරයටම තරුණ-තරුණියන්ද තමා වටා රොක්වීම, පස්සෙන් පාරෙන් වැටෙන බව පෙන්වීම නාමල්ගේ දැන්වීමේ පණිවිඩයද ? නාමල් පපුව පුම්බා, කොන්ද කෙලින් තබාගෙන, උස් හිසින් යන්නේ ඒ අනුවය. නාමල්ට එසේ යෑමට කී දාහක් හිස් පත්කරගෙන, බඩ වියතට තදකරගෙන, කොන්ද නමාගෙන සිටිය යුතුද ?

නාමල්ලා හිතේ පිපෙන්නේ මහජනයා කොච්චි පීල්ලට බෙල්ල තියන තාක්කල් පමණි. ඔවුන්ගේ කෝචිචියේන් එලියට බැස ඉදිරියට එන්නේ නාමල් පමණක් වුවද ඔය කෝච්චියේ නැග එන තවත් දහසකුත් අය සිටිති. ඒ අය අතර උගත් බුද්ධිමත් යැයි කියන පිරිසක්වීමද දීප්තලා වැනි කොල්ලෝ කෙල්ලන්ට උසස් අධ්‍යාපනය නොලැබීම සහ ඔවුන්ට උසස් අධ්‍යාපනය ලැබීම අතර වෙනසක් නොමැති බව කියාපායි. උසස් අධ්‍යාපනයක් ලැබුවද, විවිධ වෘත්තීය සුදුසුකම් සපුරා තිබුනද ඔවුන් කරනේද කෙසේ හෝ ගොඩයෑමට ආවස්ථාවක් සෙවීමය. දීප්තලා ඇතුළු කොල්ලෝ/කෙල්ලෝ ගොඩයෑම සහ උගත් බුද්ධිමත් සෙට් එකක් ගොඩයෑම අතර පැහැදිලි වෙනසක් තිබේ. දීප්තලා ඇතුළු කොල්ලෝ/කෙල්ලෝ ජීවත්වීමට, ජීවිතය ගොඩදා ගැනීමට මගක් හොයද්දී උගත් බුද්ධිමත් සෙට් එක හොයන්නේ තනතුරු, තාන්‍න-මාන්න, ධන උල්පත් ආදියය. එවිට ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ දරුවන්ටද වැජඹිය හැක. නාමල්ලා මෙන් කෝච්චියෙන් බැස ඒමට හැකිය. එසේ බැස එනවිට ඔවුන් වටා රොක්වෙන පිරිසක් ගොඩනගා ගත හැක. ඒ අතර ඔවුහුද නාමල්ට මෙන් ‘පියවරු’ සිටින බවටද පරම්පරාවක් සිටින බවටද චිත්‍රයක් නිර්මාණය කරති. ‘පියෙක්’ බැරි නම් පාසැලක් හෝ පෙන්වති. රාම-රාවණා හොයන ජාතියකට සීතාවක් වූ සීතා අරඹේපොළවල් පොළවේ පය ගසා සිටීමට නම් තමා වැනි දේවී බාලිකා වැනි බාලිකාවකින් බිහිවුණු දේවියන් අවශ්‍ය බව කියා සිටින්නේ එහිනි.

තණමල්විල කොල්ලන්ට ආදරය කරන අපිට ඔය මොන යටි බඩවල්ද ? ඔය එක එකාගේ නිධන් හාර ගන්න අපේ ඡන්දේ නොදී අපි අපේ නිධානය ගොඩදා ගනිමු !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා

(LNW)