ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

කරුණා අම්මාන් සම්බන්ධ විමර්ශන මීට පෙරත් රාජපක්ෂලාගේ මැදිහත්වීමෙන් CIDය යට ගහලා

හමුදා සාමාජිකයින් 2000 – 3000ක් එක රැයකදී තමන් විසින් ඝාතනය කළ බවට එල්ටීටී‍ඊ සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී. 

අම්පාර දිස්ත්‍රික්කයට අයත් නවදින්වෙලි (Navadinveli) ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ අපේක්ෂක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් විසින් පළ කරන ලද ‘නිර්භය පාපෝච්චාරණයක්’ නොව ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහි සිය ප්‍රහාරක ශක්තිය පෙරට දමමින් දමිළ ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමේ ‘පුරසාරමක්’ ලෙස පෙනී යන ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අධිකරණය කරා ද,අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තෙක් ද මේ වනවිට ගමන්ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ 2020 මැතිවරණ සමයෙහි කරුණාගේ ප්‍රකාශය දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත්වෙමින් පවතිද්දී විවිධ පාර්ශවයන්ගෙන් එම ප්‍රකාශය දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රතිචාරය පළ කරන ලද්දේ එවැනි පරිසරයක් තුළය. මානව හිමිකම් කොමිසමේ ‘ට්විටර්’ පණිවුඩයෙහි මෙසේ දැක්වෙයි.

https://twitter.com/UNHumanRights/status/1276186570706616321/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1276186570706616321%7Ctwgr%5E&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fsri-lanka-53199817

“දෙමළ විමුක්ති කොටි සංවිධානයේ හිටපු අණදෙන නිලධාරියා මෙන්ම හිටපු ඇමතිවරයකු වූ ‘කරුණා’ගෙන් ඔහු විසින් සිදු කරන ලදැයි පැවසෙන අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බව අපේ අවධානයට ලක්ව ඇත. ඔහු විසින් සිදු කරනු ලැබ ඇති, ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයට වැටෙන මහා පරිමාණයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගනු ලැබීම් සම්බන්ධයෙන් ද විභාග කළ යුතුව පවතී.’වගවීම’ සියලු ශ්‍රී ලාංකිකයන් කෙරෙහි බල පැවැත්වෙයි.”

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලීම් ඉදිරිපත්වෙමින් පවතී.

කරුණා විසින්ම සඳහන් කරනු ලැබ ඇති පරිදි, “පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් එක්වරක් නොව දෙවතාවක්ම යෝජනා කරනු ලැබ තිබියදීත්,” එම පහසු සහ ස්ථිර නියෝජන වරප්‍රසාදය බැහැර කරන මෙම පැරණි කැරලිකරුවා අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ වදිමින් මහජනයා අමතමින් සිටියි.

Karuna Amman

එවැනි එක් මහජන හමුවක් අමතමින් අදහස් දැක්වූ කරුණා, තමා විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදා භටයන් දහස් ගණනක් මරා දමන ලද ආකාරය සිහිපත් කරන ලද්දේ එම හමුවට සහභාගි වෙමින් සිටි දමිළ ඡන්දදායකයන්ගේ ‘මනාපය’ ස්පර්ශ කරමින් විය හැකිය.

නවදින්වෙලි මහජන හමුවේ දී කරුණා පහත සඳහන් ප්‍රකාශය කළ බව ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබුණි.

“කාර්තිව් සභාපතිවරයා මං ගැන ප්‍රකාශයක් කරලා තිබ්බා. මං කොරෝනාවටත් වඩා භයානකයි කියලා. ඔව්, ඒක ඇත්ත. කොරෝනාවෙන් මෙරටේ මැරිලා තියෙන්නෙ 11 දෙනෙක් විතරයි. මම අලිමංකඩදි එක රැයට දෙදාහක් තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා. තේරෙනවානෙ, එයා කියපු එක හරි. කිලිනොච්චිවලත් කීදාහක්ද ?”

එම ප්‍රකාශයත් සමඟ මතු වූ සමාජ ආන්දෝලනය අතරවාරයේ නැවත ප්‍රකාශයක් කරන කරුණා තම පළමු ප්‍රකාශය බැහැර නොකරමින් එය යුක්තිසහගත කරනු ලැබ තිබෙන්නේ “තමා දැන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිස සිටින හෙයින් අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු නැති” බව කියා සිටිමිනි. තමා යුද හමුදාව අවතක්සේරු නොකරන බව, කරුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළ බව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුණි.

එහෙත් කරුණා අම්මාන් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන කිහිපයක්ම මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් යටගසා ඇති බවට ද තොරතුරු මේ සමඟම අනාවරණය වෙමින් තිබේ. 

මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලය සමයේදී කරුණා අම්මාන් බ්‍රිතාන්‍යයේ පැවති පරිසර සමුළුවකට සහභාගී වන අයුරින් එම රටට යවා තිබුණේ ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයකුට එරටින් ලැබී තිබුණු ආරාධනයක් භාවිතා කරමිනි. ඒ අනුව පරිසර අධිකාරියේ නිලධාරියාට ලැබුණු ආරාධනා පත්‍රයට සරිලන පරිදි ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් එවකට බුද්ධි අංශ විසින් සකස් කර කරුණා අම්මාන්ට බ්‍රිතාන්‍යයට පැන යාමට අවස්ථාව සකසා දී තිබිණි. 

එසේ බ්‍රිතාන්‍යයට ගිය ද ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කිරීමේ වරදට එහිදී අත් අඩංගුවට පත්වූ කරුණා අම්මාන්ට වසර දෙකක පමණ සිරදඬුවක් එහිදී විඳීමට ද සිදුවිය. එසේම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සිද්ධිය මත ශ්‍රී ලංකාවේ එතෙක් පැවති තම වීසා නිකුත් කිරීමේ අංශය ඉන්දියාවට ගෙනයාමට ද බ්‍රිතාන්‍ය කටයුතු කළ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. 

කරුණාගේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණ ද ඒ පිළිබඳ විමර්ශනය අතරමඟ අතැර දැමීමට CIDයට සිදුව ඇත්තේ රාජපක්ෂ රජයේ ඉහළින්ම පැමිණි බලපෑම් නිසාය. 

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාව ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේ රජයේ බුද්ධි අංශ විසින් කරුණා අම්මාන්ට ලබාදී තිබුණු ගිනිඅවියක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වලදී අනාවරණය වී තිබිණි. 

2007 වසරේදී පමණ කන්තලේ ප්‍රදෙශයේ ස්ථාපනය කර තිබුණු රහස් කඳවුරකදී රජයේ බුද්ධි අංශ විසින් කරුණා අම්මාන්ගේ කණ්ඩායම වෙත ස්වයංක්‍රීය ගිනිඅවි 400කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති බවත් නඩරාජා රවිරාජ් ඝාතනයට යොදාගෙන ඇත්තේ එයින් එක් ගිනිඅවියක් බවත් එම විමර්ශනයේදී තහවුරු වී තිබේ. 

එහෙත් රජයේ ඉහළින්ම පැමිණි බලපෑම් මත එම විමර්ශනය ද අත්හැර දැමීමට CIDයට සිදුව ඇත. 

මේ අනුව බලන කල කරුණා අම්මාන්ගේ වත්මන් ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවන බවට රාජපක්ෂ රජය කරන ප්‍රකාශ හාස්‍යජනක බව පෙනේ. 

Karuna Amman
Karuna Amman