යුරෝපය සෙමෙන් සුවපත් වන හැඩ – අද දවසේ කොවිඩ්-19 ලෝක සිතියම
මෙය, මාර්තු 24 වැනිදායින් පසු වාර්තා වන අවම දෛනික මරණ සංඛ්‍යාවයි. මේ වන විට ස්පාඤ්ඤයේ සම්පූර්ණ මරණ ගණන 13,055 ක් බවට පත්ව තිබෙන්නේ කොවිඩ්-19 පොසිටිව් වූ 135,032 දෙනෙකු වාර්තා කරන අතරවාරයේ ය. මේ වනවිට ස්පාඤ්ඤයේ සෞඛ්‍ය සේවකයන් 15,000 ක් දෙනා ද කොවිඩ් ආසාදිතයන් බවට පත්ව සිටිති.
ප්‍රංශය අඩුම දෛනික මරණ ගණන වාර්තා කරයි.
ගතවූ පැය 24 ඇතුළත ප්‍රංශයෙන් කොවිඩ් මරණ 357 ක් වාර්තා වූයේ සතියකින් අඩුම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමිනි. මේ වන විට ප්‍රංශයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගිය මුළු සංඛ්‍යාව 8,078 කි. ඒ අතරින් 5,889 ක් රෝහල්වලදී මිය ගොස් ඇති අතර, සෙසු පිරිස මිය ගොස් තිබෙන්නේ මහලු නිවාස සහ වෙනත් වෛද්‍ය මධ්‍යස්ථානවල ය.
කෙසේ නමුත් මේ වනවිට ප්‍රංශයේ කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් රෝහල්ගත වන ප්‍රමාණයේ වැඩිවීමක් දැකගත හැකිය.
ඉතාලියේ සති දෙකකින් අඩුම කොවිඩ් මරණ ගණන

ගතවූ සති 2 තුළ ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් අද දිනය වන විට දැකගත හැකිය.
මේ අතර බරපතළ තත්වයෙන් පසුවන රෝගීන් සංඛ්‍යාව ද පිට පිට දෙවැනි දිනයටත් අඩු වී තිබේ.
ඊයේ දිනයේදී ඉතාලියෙන් වාර්තා වන්නේ මරණ 525 ක් පමණි.
එක්සත් රාජධානියේ මරණ ගණන 621 කින් ඉහළට
කෙසේ නමුත් යුරෝපයේ සෙසු රටවලට සාපේක්ෂව එක්සත් රාජධානියේ කොරෝනා වසංගත තත්වය තවදුරටත් වර්ධනය වන ආකාරයක් දැකගත හැකිය.
ගතවූ පැය 24 ඇතුළත නව මරණ 621 ක් වාර්තා වන්නේ සමස්ත මරණ සංඛ්‍යාව 4,934 ක් බවට පත් කරමිනි.
කෙසේ නමුත් මේ වන විට කොවිඩ්-19 සඳහා පුද්ගලයන් 195,524 පරීක්ෂාවන්ට ලක් කර තිබේ. එයින් 47,806 ක් පොසිටිව් තත්වයෙන් සිටින බව හෙළි වී ඇත.
ඇමරිකාව අසීරුම සතිය අබියස
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉදිරි සතිය ඇමරිකානුවන්ට අසීරුතම සහ තීරණාත්මකම සතිය බවට පත්වනු ඇති බවයි. ඒ, නිව්යෝක් ජනපදයෙන් ගතවූ පැය 24 ඇතුළත දෛනික මරණ 594 ක් වාර්තා වන අතරවාරයේය. තහවුරු වූ නව රෝගීන් ගණන 8,237 ක් ලෙස ද මේ අතර සටහන් වේ.
කැනඩාවේ මරණ ගණන 20%කින් ඉහළට

කැනඩාවෙන් වාර්තා වන කොවිඩ්-19 මරණ ගණන ගතවූ පැය 24 ඇතුළත 20%කින් ඉහළ ගොස් තිබේ.ඒ අනුව මරණ 258 ක් ඊයේ දිනයේ වාර්තා විය.
සෙනසුරාදා එය අගය මරණ 214 කි.
කටාර් රාජ්‍යයේ මුළු රෝගීන් ගණන 1,604 ක්
කටාර් රාජ්‍යය ගතවූ පැය 24 ඇතුළත නව රෝගීන් 279 දෙනෙකු වාර්තා කළේ මුළු රෝගීන් ගණන 1,604 ක් ලෙස සටහන් කරමිනි. මරණ ගණන 04 කි.
තුර්කියේ නව මරණ ගණන 73 ක්
ගතවූ පැය 24 ඇතුළත තුර්කියෙන් මරණ 73 ක් වාර්තා වන්නේ සමස්ත මරණ ගණන 574 දක්වා ඉහළ දමමිනි.
මේ වනවිට තුර්කිය කොවිඩ් පරීක්ෂා කඩිනම් කරමින් සිටින අතර, ඊයේ දිනයේ 20,065 ක් පරීක්ෂාවන්ට ලක් කර තිබේ.
ඉරානයේ කොවිඩ් මරණ ගණන 3,603 ට නගියි!
කලාපීය වසංගතයේ අපිකේන්ද්‍රයක් බවට පත්ව තිබෙන ඉරානයෙන් ගතවූ පැය 24 ක කාලය ඇතුළත කොවිඩ්-19 මරණ 150 ක් වාර්තා වේ. මේ අනුව මේ දක්වා ඉරානයේ මරණ 3,603 ක් වාර්තා වී ඇත.
තහවුරු කර ගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 58,226 කි. ඒ අතරින් 4,057 කගේ තත්වය බරපතළ ය.
ලොව පුරා කොවිඩ් මරණ ගණන හැත්තෑ දහසට ආසන්නයි!
ලොව පුරා මේ වනවිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇත. ආසාදන සංඛ්‍යාව ලක්ෂ 12.6 (මිලියන 1.26) ඉක්මවා ගොස් තිබේ.
ගඩාෆි රජය පෙරලූ කැරළි නායකයා කොවිඩ් වැළඳී මරුට

2011 වසරේදී ලිබියාවේ කර්නල් මුවමර් ගඩාෆිගේ රජය පෙරළීමට මුල් වූ කැරළි නායකයා ලෙස සැලකෙන මහ්මූද් ජිබ්රිල් (Mahmoud Jibril) කොවිඩ්-19 උත්සන්න වීම නිසා මරණයට පත් වූ බව ඔහුගේ පක්ෂය ප්‍රකාශ කරයි.
68 හැවිරිදි ජිබ්රිල්, සති 2 ක් රෝහල්ගත වීමෙන් අනතුරුව මරණයට පත් වූයේ ඊජිප්තුවේ කයිරෝ නගරයේදී ය.
පිලිපීනයේ අයෙකුව වෙඩි තබා මරා දමයි.
පිලිපීන ජනපති ඩුටර්ටි, ලොක්ඩවුන් වීමට අකමැති අයව වෙඩි තබන ලෙස හමුදාවට සහ පොලිසියට නියෝග කර ඇති බව මීට පෙර ලිපියකින් අපි හෙළි කර සිටියෙමු.
ඒ අනුව වයස අවුරුදු 63 ක පුද්ගලයෙකු ඊයේ දිනයේ වෙඩි තබා ඝාතනයට ලක්කර තිබෙන්නේ ග්‍රාම නිලධාරීන්ට සහ පොලිසියට තර්ජනය කිරීමට උත්සාහ කළේය යන චෝදනාව ද සමග ය. නාසිපිත් නගරයේදී මෙම සිදුවීම හටගෙන තිබේ. වාර්තාවන්නේ මෙම අවස්ථාවේදී මෙම පුද්ගලයා බීමත් ව සිට ඇති බවයි.
දකුණු දිග සුඩානයටත් වසංගතය
දකුණු දිග සුඩානයෙන් ද මේ වන විට පළමු කොරෝනා රෝගියා වාර්තා වේ. ඇය නෙදර්ලන්තයේ සිට ඉතියෝපියාව හරහා පෙබරවාරි 28 වැනිදා සුඩානයට පැමිණි 28 හැවිරිදි කාන්තාවකි. ඇය කිනම් ජාතියෙක්දැයි හෙළි වී නොමැත.
ජපානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සැරසෙයි
තෝකියෝ නගරයේ කොරෝනා රෝගීන්ගේ හදිසි වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමග ජපානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම ගැන සලකා බැලීමට සූදානමින් පසු වෙයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය විශාලතම අර්බුදයට මුහුණ දී ඇතැයි පවසන අග්‍රාමාත්‍ය ෂින්සෝ ඒබේ, ඩොලර් බිලියන 989 ක හදිසි පැකේජයක් ද ප්‍රකාශයට පත් කළේය.
අමාලි ජයවීර | outboundtoday.com – (LNW)