එක මොහොතක් නතරවෙන්න
නවීන ලෝකයේ වේගයෙන් හඹා යෑමේ ක්‍රියාවලිය එක මොහොතක් නතර කිරීමට කාලය පැමිණ ඇත. මිනිසා විසින්, තමන් විසින්ම ක්‍රියාත්මක කරවන, සීමාවක් නැති වේගයකින් ලෝකය තුළ ගමන් කරවමින් පැවතුන ක්‍රියාදාමය ඔවුන්ගේම ආරක්ෂාවට ප්‍රශ්නයක් මතු කර ඇත. නමුත් බොහෝ දෙනෙකුට මෙම මොහොතක නතර වීම, ඔවුන්ගේම ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වී ඇති, ඉවසා ගැනීමට බැරි තත්වයක් ඔවුන් තුළම ගොඩනගාගෙන ඇත. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එක මොහොතක් නතරවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුව ඇත. ඒ කොරෝනා වෛරසය එය පැතිරෙන වේගය නිසාවෙන්ම එයින් මිදීමට මිනිසාට මොහොතක් නතර වීමට බළකර ඇත.
මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම වසංගතයක් ඇතිවීමේදී ඔවුන් නිසෙඟයෙන්ම යොදා ගත් ඉතා ස්වාබාවික ආරක්ෂිත ක්‍රමය වූයේ වෙන් කිරීමයි. විශාල වශයෙන් පැතිරෙන රෝගයකදී මිනිසුන් විසින් තවත් අයට එම රෝගය පැතිර යෑමේ වේගය වළක්වා ගැනීමට යොදාගනු ලැබූ ස්වභාවිකම ක්‍රමවේදය එයයි. මධ්‍යම යුගයේදී ලොව පුරා පැතිර ගිය වසූරියෙන් මිදීමට මිනිසුන් යොදා ගනු ලැබුවේද, ඒ වගේම කොලරාව, ලාදුරු වැනි වසංගත මෙන්ම, පැතිරෙන රෝග වන පැපොල, සරම්ප වැනි රෝගවලදීත් මිනිසුන් වෙන් කිරීම පුරාතනයේ සිටම භාවිතාවට ගනු ලැබූ ක්රමවේදයයි.
කොතරම් දියුණු අවධියකට ලෝකය අද පැමිණියා වුවත්, අදටත් එම ක්‍රමවේදය යොදා ගැනීම වසංගත රෝග වේගයෙන් පැතිර යෑම මර්දනය කර ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය බව පැහැදිලිය. කොරෝනා වසංගතයේදීද මෙම ක්‍රමවේදය වඩාත් සුදුසුම ක්‍රමය බව මේ වනවිට ලෝකය පුරාම එම ක්‍රමය යොදා ගැනීම තුලින් තහවුරු වෙමින් පවතී.
රෝගය ආරම්භ වූවායැයි සිතන චීනය තුළත්, ඒ වාගේම මේ වනවිට වැඩිම රෝගීන් ප්‍රමාණයක් සිටින යුරෝපය වැනි තැන්වලත් මෙම ක්‍රමවේදය යොදාගනිමින් තිබේ. වෙන් කිරීමේ ක්රිමය මේ වනවිට මුලු ලෝකයේ සියලුම රටවල් පාහේ අනුගමනය කරමින් පවතී. නමුත් වෙන් කිරීමේ ක්‍රමවේදය, වෙන්ව පැවතීමේ ක්‍රමවේදය සාර්ථකව පවත්වා ගැනීමට නම් රටක දේශපාලන නායකත්වය සහ සෞඛ්‍ය වැඩපිළිවෙළට ඇති දැක්මත්, ඒ වගේම සමාජය තුළ ඇති සංයමයත්, හික්මීමත් අත්‍යවශ්‍ය කාරණාය. රටක සෞඛ්‍ය අධිකාරිය සහ රජය මොන ආකාරයකින් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට යොමු වූවා වුවත් යම් ආකාරයකින් රටේ ජනතාව හික්මීමක් ඇතිව ක්‍රියාවන්හි නොයෙදෙන්නේ නම් රෝගය වේගයෙන් පැතිරීම වලක්වා ගත නොහැක.
උදාහරණයකට ලංකාවේ වෙළෙඳ සල්වල එකිනෙකා අතර දුර මීටර් එකහමාරක් තබාගන්නා ලෙස බෝඩ් ගසා තිබුණා වුවත් මිනිසුන් පොරකමින් එකිනෙකා තෙරපෙමින් භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කරන අයුරු සහ ක්‍රිකට් ක්‍රීඩාකරන අයුරු ගත හැක. ඒ වාගේම යුරෝපයේ හෝ ඕස්ට්‍රේලියාවේ වෙළෙඳ සලක එවැනිම පොර කෑමක් සිදුවූ අයුරුද මෙන්ම සමහර තරුණ කොටස් පාටි දමන ආකාරය ගත හැක.
කෙසේ වුවද ජර්මනිය වැනි රටවල ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් එනම් ජනගහනයෙන් සියයට 90ක් පමණ තමන්ම ස්වයං වෙන් කිරීමකට භාජනය වෙමින් බොහෝ කල්පනාවෙන් රෝග පැතිරීම වළක්වා ගැනීමට මහන්සි වන බව දැකිය හැක. නමුත් මෙවැනි වසංගතයක් වළක්වා ගැනීමට නම් මුලු ජනගහනයම වෙන්වී සිටීම අනුගමනය කලයුතුය.
කොරෝනා වෛරසය පැතිරී යාම වලක්වා ගැනීමේ වැඩපිලිවෙල තුළ නගර හිස් වනවිට, රටවල් තුළ සීමා දමන විට එය ලෝකයේ අවසානය යයි සමහරු සිතන බවක් පෙනේ. තම තමන් කොයි ආකාරයකින් මේ ප්රශ්නය ඉදිරියේ හැසිරෙනවාද යන්න තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයින් ජීවත් වීමට හුරු වී ඇති, ඒ වාගේම ඔවුන්ගේ ජීවන සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරයට අනුවයි. උදාහරණයකට එක් කණ්ඩායමක් ලෝකය මේ මොහොතේ විනාශ වීමට එනවා යයි සිතන්නාක් මෙන් කඩවල්වලට දුවමින් ආහාර රැස් කරති. තමන්ගේ වුවමනාවට අවශ්‍ය ප්‍රමාණය පමණක් නොව ආහාර තම නිවෙස්වල ගොඩගසා ගනිති. අනෙකාටත් තමාට මෙන්ම ආහාර අවශ්‍ය බව ඔවුන් මොහොතකටවත් නොසිතයි. සහයෝගීතාවය මායිම් නොකර තමන්ම පමනක් යැයි සිතති. ඒ වාගේම අනෙක් කොටස පුරුදු ආකාරයෙන් කඩවලට ගොස් තමන්ට අවශ්‍ය ප්‍රමාණය හෝ ඊට ටිකක් වැඩියෙන් භාණ්ඩ මිලදී ගනිති. ඔවුන් ලෝක විනාසය ළඟ එන ලෙසට නොහැසිරේ. තමන්ට මෙන්ම අනෙකාටත් කුසගින්න ඇති බව සිතති. අනෙකා ගැනත් සැලකිලිමත් වෙති.
එමෙන්ම දක්ෂිණාංශික ජනප්‍රියවාදීන්ගේ මොහොතේ වාසිය ගැනීමේ උත්සාහය අසාර්ථක වීම මෙවැනි ව්‍යවසනයකදී දැකිය හැකිය. සෑම ජනප්රියවාදියෙකුගේම ස්වභාවය වන්නේ ලොව ඇතිවන ඕනාම ව්‍යවසනයකදී, ඕනාම විනාශයකදී එයින් තමන්ට දේශපාලන වාසියක් ගැනීමට උත්සාහ කිරීමයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සමග දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් මොහොතේ වාසිය තමා වෙත හරවා ගැනීමේ ප්රයත්නයන්හි යෙදෙති. උදාහරණයට ඉතාලි දක්ෂිණාංශික ජනප්‍රියවාදී, තමන් නූතන “ඩූචේ” (මුසෝලීනි) වීමට ආසාවෙන් පෙලෙන, මතෙඕ සල්වීනි තමන්ට පමණක් රට ගොඩ ගත හැකි යැයි මතයක් වපුරමින් ජනප්‍රිය වීමට උත්සාහ දැරුවත් පවතින තත්වය ඔහුට එයට ඉඩ හරිනු නොලැබීය.
ජනප්‍රියවාදීන්ගේ ප්රචාරක වාක්‍ය ඛණ්ඩ තුළින්, ජනප්‍රිය සටන්පාඨ තුලින් මෙවැනි විනාසයකට විසඳුම් දිය නොහැක. ඔවුන් තුළ ඇත්තේ පවතින තත්ත්වයට විවේචනයක් කිරීමේ ජනප්‍රිය වදන් මාලා පමණි. එනිසාම මෙවැනි ව්‍යසන තත්ත්වයකදී ඔවුන්ව නිශ්ප්‍රභ වේ. ඒ වගේම ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වෛරසය පිටරැටියන්ගේ වෛරසයක් ලෙස හඳුන්වමින් පුරුදු ජනප්‍රියවාදී මත ප්රචාරයන්හි යෙදුනි. ආරම්භයේදී බෝරිස් ජොන්සන්ගේ හැසිරීමද එවැනිම උවත් අවසානයේ විවිධ පැතිවලින්, විසේසයෙන්ම වෛද්‍ය විශේෂඥයින්ගෙන් එල්ල වූ විවේචන හේතුකරගෙන ඔහුටද මුල් ජනප්‍රියවාදී ක්‍රමවේදයෙන් ඉවත්වීමට සිදුවිය. අවසානයේ එතුළින් සිදුවී ඇත්තේ රෝගය තව තවත් පැතිරීම වළක්වා ගැනීමට ඇති වටිනා කාලය අපතේ යවමින් රෝගය පැතිරීමට කාලයට ඉඩ ඇරීම පමණි.
ඒවාගේම මෙම කොරෝනා අවධිය ප්‍රයෝජනයට ගනිමින් අධිපතිවාදි නායකයින් විසින් තමන්ට ඒකාධිපතිවාදී බලයක් ගොඩනගා ගැනීම දෙසට රාජ්‍ය බලය වෙනස් කර ගැනීමට කැස කවන අයුරු දැකගත හැක. මේ වනවිටත් හන්ගේරියාව, පෝලන්තය, ඊශ්‍රායලය මේ දෙසට ගමන් කරමින් පවතින අතර මහා බ්‍රිතාන්‍යයේ ජොන්සන්ද එවැනි උත්සාහයක යෙදෙනු පෙනේ. ලංකාවේ මාර්තු දෙවැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුළ දකින්නට ඇත්තේද කිසි වගකීමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තම බලය තහවුරු කර ගැනීම පමනක් ගැන සිතීමය. එමෙන්ම අද වනවිට ඡන්දය කල් දැමීමට සිදුවීම තුළින් බලය ඒකාධිකාරී අයුරකින් ජනාධිපතිවරයා අත ගොනු වීමක් බව පැහැදිලිය. තවදුරටත් රාජ්‍යය හමුදාකරණය කරමින් රට අධිකාරිවාදී රාජ්‍යයක් වෙත ගමන් කරවනු දැකිය හැක. මිනිසුන් තමන් කාලයක් තිස්සේ දිනාගත් ප්රජාතන්ත්රවාදී අයිතීන් අයුතු අයුරින් කපාහරිමින් අධිපතිවාදි රාජ්‍ය නායකයින් විසින් මෙවැනි මොහොතක බලය තම අතට ගොනුකර ගැනීම සඳහා කරන ඒකාධිපතිවාදී උත්සාහය ගැන විමසිල්ලෙන් පසුවීමද අවදිමත් ජනයාගේ යුතුකමකි.
නවීන ලෝකයේ තනිව පැවතීම කිසිවෙකුට කළ නොහැකිය. ඒත් මෙවැනි වසංගතයකදී වෙන් වීම අත්‍යවශ්‍ය වනවා මෙන්ම වෙන්ව පවතින අතර සහයෝගයද ඒ හා සමානවම අත්‍යවශ්‍යය. මෙවැනි අවස්ථා බියවීමට හේතුවක් නොවන අතර රෝගය පැතිරීම වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය ක්රියාදාමයන්හි යෙදීම සිහිබුද්ධියෙන් ක්‍රියාත්මක කළ යුතුය. සහයෝගය සහ වෙන්වීම මේ මොහොතේ අවශ්‍යතාවයයි. අනෙකාට සහයෝගයෙන් කටයුතු කිරීම යනුම එකිනෙකාගෙන් වෙන්ව නැතිනම් ඈත්ව සිටීමයි. එතුලින් අනෙකාට රෝගය බෝවීම වැළැක්වීම රෝගය වළක්වා ගැනීමට ඇති සහයෝගයේ ක්රමවේදයයි.
කියුබානු වෛද්‍ය කණ්ඩායම් යුරෝපයේ රටවලට පැමිණ ඔවුනට සහය දෙන අතර ජර්මනිය වෛද්‍ය පහසුකම් ඉතාලියට සපයනු ලබයි. ප්‍රංශ අසාධ්‍ය රෝගීන් ජර්මනියේ රෝහල්වලට ගෙනවිත් ඔවුන් සුවකිරීමට උපස්ථාන කරයි. මෙසේ විවිධ රටවල් අනෙකා සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වනු පෙනේ. ජාතීන් අතර සහයෝගය යනු මේ අවස්ථාවේ ජනයා අතර ආදරය දැක්වීමේ ක්රමවේදයයි.
සියල්ල නිහඬ බවට පත්කර ඇති අතර ක්‍රමයෙන් සමාජ ක්‍රියාකාරීත්වය අක්‍රීය කර ඇත. එය මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් වන අතර සෑම ක්රියාදාමයක්ම, සමාජමය හැසිරීමක්ම මොහොතකට නතර කරනු ලබයි. නමුත් සියලු සමාජ ක්‍රියාදාමයන් නතර වන අතරම වැදගත් වන්නේ රාජ්‍යය තිබුණාටත් වඩා ක්‍රියාශීලි වීමයි. රාජ්‍ය ටර්බෝ යන්ත්‍රයක් සවිකලාක් මෙන් වැඩකල යුතුය. ඒ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ රටක සියලුම කාරණා සැලසුමක් ඇතුව කළමනාකරණය කිරීමේ වැදගත්කම ඔවුන් මත පැවරී ඇති හෙයිනි.
නවීන ලෝකයේ අපට මොහොතක් නතර වීම අද වනවිට ආගන්තුකය. අපේ ජනගහනයෙන් වැඩි දෙනෙකු බෞද්ධයින් වූවා වුවත් අපටත් එය ආගන්තුකය. ඒ අපද තණ්හාවෙන් හඹායෑමෙන් මිදී නොමැති නිසාවෙනි. මොහොතක් නතර වී ජීවිතය දෙස හැරී බැලීමට මේ මොහොත නොවන්නේද ? එසේ වන්නේ නම් අනෙකා ගැන සිතීමටත්, ඇති දෙය සහයෝගයෙන් බෙදාහදා ගැනීමටත් අපද පුරුදු වනු ඇත.
රංජිත් හේනායකආරච්චි