ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නීති ලිහිල්වීමෙන් ගුවන් සේවිකාවන් 80 දෙනකු ගැබ්ගෙන

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට බැදී වසර හයක් යන තෙක් ළමයින් සෑදීමට නොහැකි බවට පනවා තිබූ නියමය වෙනස් කිරීමට සමාගමේ කළමනාකාරීත්වය ගත් තීරණය නිසා මේ වන විට ගුවන් සේවිකාවන් 80 දෙනකු පමණ ගැබ් ගෙන ඇති බවත් ඔවුන් ගුවන් ගමන්වලට සහභාගි නොවන බවත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු මානව සම්පත් කළමනාකරු ප‍්‍රදීප කැකුලාවල මහතා ඊයේ (09 දා) ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙමින් කීවේය.
මෙය සමාගමේ මූල්‍ය තත්ත්වයට ඉතා අහිතකර ලෙස බලපා ඇතැයි ද සාක්ෂිකරු කීවේය.
කලින් වසර හයක් යන තෙක් ළමයින්් සෑදීමට නොහැකි බවට පනවා තිබූ නියමය නිසා ගුවන් සේවිකාවන් ගබ්සා කිරීම් සිදු කර ගැනීමට යොමුව සිටි බව ඔබ දැන සිටියේදැයි රජයේ අධිනීතිඥ ෆස්ලි රසීක් මහතා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු එසේ කියා සිටියේය.
මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දුන් ගුවන් සේවිකාවක කියා සිටියේ සමාගමට බැදී වසර හයකට පෙර ගැබ් ගැනීම නිසා තමාට සමාගමෙන් ඉල්ලා අස්වන ලෙස එවකට සමාගමේ මානව සම්පත් කළමනාකරු ප‍්‍රදීප කැකුලාවල මහතා කියා සිටි බවයි. තවත් ගුවන් සේවිකාවන් ගණනාවක් රැකියාව ආරක්ෂා කර
ගැනීම සදහා ගබ්සා කිරීම්වලට යොමු වූ බවත් ඇය කියා තිබිණි.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් සේවිකාවන් ඇතුළු ඉදිරිපෙළ සේවකයන් මුලින්ම වසර තුනක කොන්ත‍්‍රාත් කාලයකට යටත්ව බදවා ගත් බවද ඔවුන් ස්ථිර කළේ ඉන් පසුව බව ද සාක්ෂිකරු කීවේය. මෙසේ ස්ථිර කිරීමෙන් පසු පළමු වසර තුනේදී ගැබ් ගතහොත් මුලින් වැටුප් සහිත නිවාඩු ලබා නොදුන් බවත් ඔවුන් එම කාලයේදී ගැබ් ගතහොත් ඔවුන්ට ඉල්ලා අස්වීමට සිදු වූ බවත් සාක්ෂිකරු කීවේය.
කෙසේ වෙතත් වර්ෂ 2014 -2017 කාලයේ සාමූහික ගිවිසුම් පිළිබද සාකච්ජාවේදී මේ නීතිවල වෙනසක් වූ බවත් ඒ අනුව ගුවන් සේවිකාවන් සදහා මාස 18 ක වැටුප් සහිත නිවාඩු දැන් ලබා දෙන බවත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු මානව සම්පත් කළමනාකරු ප‍්‍රදීප කැකුලාවල මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තවදුරටත් කීවේය.
ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටිති.
කොමිසම ඊයේ (09 දා) උදේ 10.30 ට පමණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත