ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

චුන්නාකම් තාප බලාගාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා..! – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

යාපනය,  චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය තුළින් ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බව අද(04) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව මෙම බලාගාරය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 20 ක වන්දියක් ගෙවන ලෙස අදාළ බලාගාරය පවත්වාගෙන ගිය නොදර්න් පවර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් නමැති පුද්ගලික සමාගමකට අධිකරණය නියෝග කළේය.
මෙම රුපියල් මිලියන 20 ක මුදල අගතියට පත් එක් නිවසකට රුපියල් 40,000 ක උපරිමයකට යටත්ව වන්දි වශයෙන් ගෙවන මෙන් නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම වන්දි ගෙවීමේ කටයුතු ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදුවිය යුතු බවත් නියෝග කළේය.
යළිත් මෙම බලාගාරය ක්‍රියාත්මක තත්වයට පත් කරන්නේ නම් පිළිගත් පාරිසරික කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව පමණක් එය කළයුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.
සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් අධිකරණය මෙම නියෝග ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කරු පවසන්නේ අදාළ බලාගාරය මඟින් බැහැර කරන අපද්‍රව්‍ය සහ තෙල් හා ග්‍රීස් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ළිං ජලය අපවිත්‍ර වීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර ඇත. මෙම පෙත්සම හා අවසර දුන්  2015 වසරේ එම බලාගාරය ක්‍රියාත්මක කිරීමවළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.