ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-03Slider

රනිල් – ලිබරල්වාදයේ සිට දක්ෂිණාංශයට අවතැන් වීම

අද(24) රනිල් ශිරාන් වික්‍රමසිංහගේ 70 වැනි ජන්ම දිනයයි. මෙම සංක්ෂිප්ත සටහන ඔහුගේ තුන් කල් දේශපාලන මතවාදය පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයකි.
දශක හතක මතක අතීතාවලෝකනය
ඉස්සර රනිල් ලිබරල් ය. දැනුත් රනිල් ලිබරල් වුවත් ඒ, මතවාදී ව මිස ක්‍රියාවෙන් නොවේ.
ඒ ලිබරල් කම කෙතෙක් ද යත් ඔහුට අවශ්‍ය වූ විට වාමාංශය සමග ද සිටගන්නට හයියක් තිබුණේය. හරි දේ වෙනුවෙන් සුපුරුදු සන්සුන් කමින් පෙනී සිටින්නට ද පෞරුෂයක් තිබුණේය. වාමාංශිකයන් පවා සිතුවේ රනිල් දක්ෂිණාංශික ය කියා ය. රනිල් එවිට ඔවුන්වත් නිරුත්තර කරමින් මැද තැනක සිටගෙන සිටියේය. නව ලිබරල්වාදය හාත්පසින්ම වෙනස් දෙයක් බවත්, එය සමාජවාදය මෙන් එකතැන පල් වෙමින් නොසිට අවස්ථානුගත ප්‍රශ්නවලට අවස්ථානුගත පිළිතුරු සපයමින් ඉදිරියට යන ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් බවත් ඔහු පෙන්වා දෙමින් සිටියි.
රනිල් පිළිබඳ ව කතා කරන විට සඳහන් කළ යුතු මූලික පුද්ගලයන් තිදෙනෙකි. ඉන් පළමුවැන්නා ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය මහාචාර්ය යානිස් වරුෆුකාස් ය. ඔහු ද උපන් දිනය සමරන්නේ මාර්තු 24 වැනි දින ය. අනෙක් තැනැත්තන් දෙදෙනා වන්නේ බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් සහ ඇමරිකාවේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක බර්නි සෑන්ඩර්ස් ය. මොවුන් දෙදෙනා එක් කරන හුය යානිස් වරුෆුකාස් ය. දෙදෙනාගේම න්‍යායාචාර්යවරයා වන්නේ යානි ය. යානිස් වරුෆුකාස් යනු බ්‍රිතාන්‍ය අධ්‍යාපනයේ සුපිරි නිෂ්පාදනයකි. ඔහු දැඩි වාමාංශික මතධාරියෙක් වුවත් ඔහුගේ ගුරුහරුකම් බ්‍රිතාන්‍යයට හෝ ඇමරිකාවට නොගැළපේ. ජෙරමිගේ හා බර්නිගේ අසාර්ථකභාවයට හේතුව සඳහා යම් තරමකට යානි වගකිව යුතුය.
රනිල් පිළිබඳ ලියැවෙන සටහනට අප මේ නම් තුන ඈඳා ගත්තේ චේතනාන්විතව ය. මන්ද යත් එය ලිබරල්වාදයත් සමාජවාදයත් වර්තමානයෙහි සොයමින් සිටිනා සංහිඳියාව පිළිබඳව නව මානයන් සපයන බැවිනි. වත්මන් ලෝකයේ ධනවාදී කඳවුරේ අර්බුදය හමුවේ ඔවුන් මේ වන විට නැඹුරු වෙමින් සිටින්නේ වාමාංශික ප්‍රවණතාවයන් කෙරෙහි ය. එහි කෙළවර ලිබරල් සමාජවාදයක් විය හැක. එහි පදනම වන්නේ මානව වාදයයි.
රනිල් ශිරාන් වික්‍රමසිංහයන් යනු මේ අන්ත දෙක හොඳින්ම සමතුලනය කළ හැකි ශ්‍රී ලාංකික චරිතයයි.
ඔහුගේ හැත්තෑ වසක ජීවන කාලයෙන් දශක හතරක් ගෙවී යන්නේ ශ්‍රී ලාංකික දේශපාලනය තුළයි. ශ්‍රී ලංකාවේ දැක්මක් ඇති දේශපාලන චරිත ද්වය වන්නේ රනිල් සහ මංගල ය (නොබෝදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී මංගල පවසා සිටියේ වාමාංශික දේශපාලන මතවාදයන් කුඩුපට්ටම් කර දැමිය යුතු බවයි. ඒ ඔහුගේ නොදන්නා කම ය). අගමැති රනිල්ගේ මුදල් ඇමති වන්නේ මංගල ය. මෙය මනා සංයෝගයකි. මේ ඔවුන් දෙදෙනාට ලැබෙන අවසාන අවස්ථාව විය හැක. නිලධාරීවාදයට යටත් වී එය විනාස කර ගන්නවාද නැත්ද යන්න පිළිබඳ ව ඔවුන් දෙදෙනා වග බලා ගත යුතුය.
රනිල් අන්ත දක්ෂිණාංශය යනු කුමක්දැයි හොඳින්ම දන්නා චරිතයකි. ඉතිහාසයේ එක් දිනෙක රනිල් එල්ටීටීය කුඩුපට්ටම් කිරීම සඳහා පාවිච්චි කරන්නේ ද එල්ටීටීඊයේ අන්ත දක්ෂිණාංශික මූලධාතූන් ය. ඔහු එය සිදුකළ ආකාරය පිළිබඳ කිසිවෙකුට වැටහීමක් නැති වුවත් ඔහු දිගුකාලීන සැලසුමකට අනුව තම අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කර ගත්තේය. ඒ සඳහා අන් අය උප්පැන්න සහතික ලියා ගනිද්දී රනිල් කළේ නිහඬ මුවින් – ගැඹුරු බවින් එය විඳ දරා ගැනීමයි.
සැබවින්ම එකල රනිල් සිටියේ දක්ෂිණාංශය සහ වාමාංශය අතර මැද පිහිටා තිබූ ලිබරල් ලක්ෂ්‍යයක් සලකුණු කරමිනි. ඔහු ‘නව ලිබරල්වාදයක්‘ නියෝජනය කරමින් සිටියේය. දශක හතරක දේශපාලන ජීවිතය ඔහු ගෙවා දමමින් සිටියේ එසේ ය.
‘‘වට් ඊස් යුවර් නෙක්ස්ට් ප්ලෑන් සර්..?“
වරක් රෝයල් – තෝමියන් බිග් මැච් එකක නිවේදකයෙකු අගමැති රනිල්ව වේදිකාවට කැඳවා මෙසේ අසයි. ‘‘වට් ඊස් යුවර් නෙක්ස්ට් ප්ලෑන් සර්..?“
මදක් විපිළිසරව සිටිනා අගමැතිවරයා දුන් පිළිතුර තර්කානුකූල ය.
‘‘ටු බී ඉන් පවර්..!“
සැවොම බලාපොරොත්තු වූ පිළිතුර වූයේ ඊළඟට ජනාධිපති වීමට අවශ්‍ය බව රනිල් කියනු ඇත යන්න ය. නමුත් රනිල් එතරම් ළඳ බොළඳ පුද්ගලයෙක් නොවේ. ඔහුට අවශ්‍ය බලයයි. එයින් බොහෝ දේ කළ හැකි බව ද ඔහු දනියි. එමෙන්ම බලය නතු කර ගැනීම පහසු ඉලක්කයක් වුවත් බලය රඳවා තබාගැනීම අසීරුම ඉලක්කය බව රනිල් හොඳාකාරවම දන්නා කෙනෙකි. බලයට පැමිණි සෑම වතාවකම බලය පවත්වාගැනීම සඳහා රනිල් සතුව මනා සැලසුම් තිබූ බව ඔහුගේ මෑත කාලීන ක්‍රියාකාරකම් තුළින් අවබෝධ කර ගත හැක. නමුත් රනිල්ගේ වත්මන් ක්‍රියාකාරකම් තුළින් හැඟවෙන්නේ ඔහු ලිබරල්වාදයේ සිට දක්ෂිණාංශය දක්වා අවතැන් වී ඇති බවකි.
මන්ද යත් එසේ ලැබුණු බලය සංයමයෙන් යුතුව හැසිරවූ අගමැති රනිල් අද වන විට තිරුපති දේවාලයට ගොස් තුරාබරම් පූජාවේ යෙදෙන්නේය. පංචස්කන්ධයේ බරට කෝවිලකට රත්තරන් හෝ සඳුන් දර පූජා කිරීමේ යෙදී සිටීම දක්වා ඔහුගේ ලිබරල් චින්තනය අවගමනය වීම සැබවින්ම ඛේදවාචකයකි.
ඔය කියන තරාදියේ මහින්ද රාජපක්ෂ සිටගෙන සිටියා නම් අපට අපුලක් නොදැනේ. ජනපති මෛත්‍රිපාල නිරුවතින් එහි දිගා වී සිටියත් අපට අපුලක් නොදැනේ. ඒ දෙදෙනාම එවැනි අය බව අප හොඳින් දන්නා නිසා ය. නමුත් ඔබ…? මිනිසා විසින් දෙවියන් මැවූ බව හොඳින් දන්නා ඔබ මේ කරන්නේ සාමාන්‍ය ජනතාව රැවටීම සඳහා රංගනයක්දැයි විටෙක අපට සිතේ. නමුත් හරාකිරි රංගනයන් කිරීම ඔබට කිසිසේත් නොවටියි. දෛවඥයන්, කේන්ද්‍රකරුවන්, කට්ටඬියන්, සාස්තරකරුවන් මේ වන විට ඔබගේ ලිබරල් ලෝකය තුච්ඡ ලෙස ආක්‍රමණය කර ඇති බව පෙන්වීමට මෙය කදිම උදාහරණයකි.
වැවයි දාගැබයි ගමයි පන්සලයි
මහින්ද, මෛත්‍රිපාල දෙදෙනාම වැවයි දාගැබයි ගමයි පන්සලයි ඇසුරෙන් හුදී ජනයාගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්නා උදවිය ය. එය ‘ගමේ කම‘ හෝ ‘ගොම ගතිය‘ හෝ එවැනි වෙනත් ඕනෑම ආකාරයක විශේෂණ පද යෙදිය හැකි සංසිද්ධියකි. නමුත් අප දන්නා රනිල් එසේ නොවේ. රනිල් මේ මෑතක් වන තෙක් ගස් ගල් වන්දනාවේ ගියේ නැත. මල් වට්ටි අරන් චෛත්‍ය වටේ ගියේ ද නැත. වරක් රනිල් සුදු වතින් සැරසී මල් වට්ටියක් දෝතින් අරන් පන්සලට යයි. නමුත් ඔහුට කැප් තොප්පිය ගළවන්නට අමතක වෙයි. බාගවිට කැප් තොප්පිය ගැළවිය යුතු බව ඔහු නොදැන සිටියා වන්නට ද ඇත. එවිට ‘සර්, කැප් එක.!‘ කියා රනිල්ට ඒ ගැන කියන්නේ කුඩා කොල්ලෙකි.
වරක් තමන් මේ ලෝකයේ ලස්සනම ඇඳුම ඇඳගෙන සිටින කෙනා යැයි සිතාගෙන සිටින අධිරාජ්‍යෙයක් මේ අන්දමින්ම නිරුවතින් වීදි සංචාරය කළේය. ඔහු සිටින්නේ හෙළුවෙන් බව සැවොම දුටු නමුත් එය කාටවත් අධිරාජයාගේ මුහුණට කියාගත හැකි වූයේ නැත. අවසානයේ පිරිස අතර සිටි කුඩා කොලුවෙක් මහ හඬින් කෑ ගසා මෙසේ කීය.‘‘අන්න අපේ රජා හෙළුවෙන්..!“ එසේ කෑ ගසා කීමට කොන්දක් තිබෙන යූඇන්පී කාරයන් ඔහු වටා නැත. සිටින්නේ ‘‘යස් සර් – යස් සර් – ත්‍රී බෑග්ස් ෆුල් සර්‘‘ උදවියයි. එය රනිල්ගේ අබග්ගයයි.
රනිල්ගේ සීලබ්බත පරාමාසය
රනිල්, ස්වකීය දේශපාලන භාවිතාව තුළ තුන් පිටකය කියැවූ මිනිසෙකි. බුදුන් වහන්සේ ගස් ගල් වන්දනාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සීලබ්බත පරාමාසයන් බවත් පෙර පටන් රනිල් හොඳින් දැන සිටියේය. ඒ අතරම ඒ තුන් පිටකයෙන් බුදුන්ට අයිති වන්නේ සූත්‍ර පිටකය පමණක් බවත් ඔහු දැන සිටි බව අපි විශ්වාස කරමු. එසේ නම් ගස් ගල් වන්දනාව බුදුන් එකහෙළා ප්‍රතික්ෂේප කළ සීලබ්බත පරාමාසයන් බව ද ඔහු එනයින්ම දැන සිටිය යුතුය. සෝතාපන්නයෙකු වීමේ ප්‍රථම අදියර එය බව අපට වඩා හොඳින් රනිල් දන්නවා ඇතැයි සිතමු.
ඒත් අපට වැරදී තිබේ.
රනිල්ගේ පීලි මාරු වී තිබේ. එය දේශපාලන සම්‍යක් ප්‍රයෝගයක් සඳහා වී දැයි නොදනිමු.
නැතිනම් අර වගේ හිරිකිතයක් නැතිව තිරුපති ගොස් තරාදියේ ඉඳගන්නේ නැත.
රනිල් ඉස්සර දියත් කළේ රට හදන වැඩපිළිවෙළවල් ය. පුබුදමු ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ය. මහවැලි ගම්මානවල ජන සංයුතිය මිශ්‍ර කිරීම සඳහා දමිල ජාතිකයන් ද එහි පදිංචි කරවීම වැනි ජාතික සංහිඳියාවේ දීර්ඝකාලීන හැරවුම් ලක්ෂයන් ය. රනිල් ගේ මහත්මා ගතිය නිසා ඔහු කිසි දිනෙක ඒවාට හිමිකාරිත්වය ද කියන්නට නොගියේය.
නමුත් රනිල් තමන් පටන් ගත් වැඩ පවා අතරමගදී අනාථ කර දැමුවේය. එදා ඔහු දියත් කළ නියම ලිබරල් සැලසුම් වෙනුවට දැන් රනිල්ගේ ඉදිරිපත් කරන සැලසුම ‘පන්සල් සරණං ගච්ඡාමි‘ සහ ‘දේවාල සරණං ගච්ඡාමි‘ ය. අතීතයේ නව ලිබරල්වාදයේ පරමාදර්ශයක් බඳු වු රනිල් අවසානයේ තරාදියේ ඉඳගන්නවාය! ලැජ්ජයි..!
රනිල් අදට යෙදෙන 70 වැනි උපන් දිනයේදී සලකුණු කරන්නේ පරිණත භාවයක් නොව ළදරු බවකි. දැනුමත් සමග වියපත් විය යුතු, වඩ වඩාත් ලිබරල් විය යුුතු අවධියක පසුවිය යුතු ඔබ, මේ වන විට නොපෙනෙන දෙවියන් වඳිමින් සිටියි. උන්ව පිනවමින් සිටියි. දෙවියන් විසින් මැවූ මිනිසා අදහනු වෙනුවට මිනිසුන් විසින් මැවූ දෙවියෙකු අදහමින් සිටියි.
නැති භක්තියක් මවාගෙන රටට පේන්නට පන්සලට කෝවිලයට යන විට රනිල් හරි කැත ය. ඒ ආගම් භක්තිය රනිල්ගේ ‘ඇඟේ තියෙන දෙයක්‘ නොවන නිසා ය. එසේ සැදැහැ සිතින් පන්සල් කෝවිල් යා හැකි නායකයෝ අපේ රටේ එමට සිටිති. කථානායක කරු ජයසූරිය පවා පන්සල් යන්නේ සසර පුරුද්දට ය. නමුත් රනිල්ට එහෙම එකක් නැත. තමන්ට නැති දෙයක් කාවදෝ සතුටු කරන්නට බලෙන් කරන්නට යන විට එය හරි අවලස්සන ය. මෙය ඉතිහාසයේ පටන්ම ‘ග්‍රෑන්ඩ් ඕල්ඩ් පාටි‘ හෙවත් ලංකාවේ GOP පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ තිබූ පොදු දුර්වලතාවයකි. රට හැදූ බව කියන, ජනකාන්ත කමක් ද තිබූ ඩී.බී. ජයතිලකලා සේනානායකලා, කොතලාවලලා, ජයවර්ධනලා ද අන්තිමට නතර වුණේ පන්සල්වල ය. ලිබරල්වාදය අවසානයේ ආගම්වාදයටත් ජාතිවාදයටත් හිස නවා දණ නවා, කොන්ද ද නවා තම මුතුන් මිත්තන් මෙන් නතර වන බව රනිල් විසින් ද ජුගුප්සාජනක ලෙස ඔප්පු කරමින් සිටියි. අත්‍යන්තයෙන්ම ලිබරල් මිනිසුන්ගේ සන්ධානයක් විය යුතුව තිබෙන ග්‍රෑන්ඩ් ඕල්ඩ් පක්ෂය දැන් සිංහල බෞද්ධ වෙමින් අවගමනයකට මුහුණ පා සිටීම ඛේදජනක ය.
නව ලිබරල්වාදයේ ප්‍රතිමූර්තියක් වූ රනිල් ශිරාන් වික්‍රමසිංහ මේ වන විට දක්ෂිණාංශික මූලධාතූන් තුළ අවතැන් වී සිටීම පැහැදිලි කරුණකි.
රනිල්, සුඛ වග්ගය කියවන්න!
එදා ශාක්‍ය ජනපදයේදී ශාක්‍ය කෝලිය රජවරුන් අරබයා බුදුන් වහන්සේ මේ ගාථාව කියයි.
සුසුඛං වත ජීවාම – ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු – විහරාම අනාතුරා (සුඛ වග්ගය)
එහි සරල අදහස වන්නේ කෙළෙසුන්ගෙන් ආතුර වූ මිනිසුන් අතර සෝතාපන්නයා අනතුරු රහිතව ජීවත් වන බවයි.
ඉතින් රනිල්, ඔබගේ උපන් දිනය දා අප ඔබෙන් කරන ආදරණීය ඉල්ලීම නම් අනෙක් නායක කාරකාදීන් මෙන් කෙළෙසුන්ගෙන් ආතුර නොවී එසේ ආතුර වූ සමාජයක අනාතුර ව වෙසෙමින් ලෝකයේ විශිෂ්ටතම ලිබරල්වාදියා වන බුදුන් වහන්සේගේ පටිසෝතගාමී මග අනුගමනය කරන ලෙසයි. ඔබට සුබ උපන් දිනයක්!

(LNW)