ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කරනවා – අලුත් පනතක් හදුන්වා දෙනවා – මංගල සමරවීර
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් සුරැකීමේ සාමූහික එකතුව වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයෝ පිරිසක් ඊයේ (25) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, මුදල් අමාත්‍යාංශ උපදේශක මනෝ තිත්තවැල්ල ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හමුවී උද්ගත ව ඇති අර්බුදය සාකච්ඡා කළහ. එහිදී හෙළි වූයේ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව ‘‘ණය නියාමන අධිකාරි පනත‘‘ Credit Regulatory Authority Act නමින් අලුත් පනතක් ඉදිරි මාස කිහිපය ඇතුළත හඳුන්වා දීමට කටයුතු කරන බවත්, ක්ෂුද්‍ර මූල්‍ය පනත ඒ අනුව අහෝසි වනු ඇති බවත් එහිදී හෙළි විය.
රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සම්බන්ධයෙන් සිය දිවි නසාගැනීම් 170 ක් වාර්තා වී තිබීමත්, සදාචාර නොවන අන්දමින් ණය අය කර ගැනීම නිසා හටගෙන තිබෙන මානව ඛේදවාචකයත් මුල්කරගෙන මෙම තීරණයට එළඹුණු බව එහිදී සඳහන් විය.
මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා සමග අධිකරණ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ පාර්ශවය නියෝජනය කරමින් ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ කවුඩුල්ලේ ජයතිස්ස, නෙළුම්යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂ නීතීඥ රදිකා ගුණරත්න, නීතිය හා සමාජ භාරයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක නීතීඥ විදුර මුණසිංහ, ප්‍රගතිශීලී තරුණ එකමුතුවේ විරාජ් අබේරත්න සහ ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු චින්තක රාජපක්ෂ යන අය මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
දැනටමත් කෙටුම්පතක් හදලා!
මෙහිදී හෙළිදරව් වූ කාරණයක් වූයේ මේ වන විටත් නව නීතියේ පනත් කෙටුම්පතද මේ වන විට සකස් කර ඇති බවයි.
ඒ සඳහා සම්බන්ධ වූ පාර්ශවයන් පිළිබඳ ප්‍රශ්න කරනු ලැබූ විට අදාළ නිලධාරීන් කියා සිටියේ එම පනත් කෙටුම්පත අවසානාත්මක එකක් නොවන බව සහ, ඒ සඳහා වින්දිත පාර්ශවයන්ට සිය යෝජනා ලබා දිය හැකි බවයි.
තවද නව නීතිය සකස් කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයන්ගේ ද සහභාගිත්වයෙන් යුතු කමිටුවක් ස්ථාපනය කිරීමට ද එහිදී යෝජනා විය.
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් වෙනුවෙන් සෑම පොලිස් ස්ථානයකම විශේෂ නිලධාරිනියක්
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් කාන්තාවන් දැඩි තාඩන පීඩනවලට හසුකරමින් හිංසා කිරීමේ ගැටළුව ට තාවකාලික පිළියමක් වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා කාර්යාංශයට අනුබද්ධිතව විශේෂ පොලිස් නිලධාරිනියක් බැගින් පත් කිරීමට මෙම සාකච්ඡාවේදී බලධාරීහු එකඟ වූහ. ඒ අනුව නියෝජිතයන් විසින් සිදුකරන බලකිරීම්, හිංසන, තාඩන පීඩන යනාදිය ගැන පැමිණිලි කිරීම වින්දිතයන්ට පහසු වනු ඇති අතර, ක්ෂුද්‍ර මූල්‍ය නියෝජිතයන්ට එරෙහිව අපරාධ නීතියට අනුව කටයුතු කිරීමට මේ අනුව සිදුවනු ඇත.
නඩුවලට සහනයක් නෑ
මේ වන විටත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් පවරා ඇති අති මහත් නඩු සම්භාරය පිළිබඳ විමසූ විට බලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධව තමන්ට මැදිහත් වීමක් කළ නොහැකි බවයි. කෙසේ නමුත් ක්‍රියාකාරිකයන්ගේ දැඩි ඉල්ලීම මත, වින්දිතයන් වෙනුවෙන් නියෝජනය කරන නීතීඥවරුන් හට රජයේ නීති සහාය ලබාදීමට ද යෝජනාවක් ඉදිරිපත් විය.
මෙම නඩු සම්බන්ධ අර්බුදය පිළිබඳව නෙළුම්යාය පදනමේ නීතීඥ රදිකා ගුණරත්න කියා සිටියේ, ‘‘දැනටමත් මේ සමාගම් නඩු පවරන්නේ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ප්‍රකාරව නෙවෙයි. වෙනත් විදිහකට කියනවා නම් ලංකාවේ මේ සමාගම් මේ ව්‍යාපාරය කරගෙන ගිහින් තිබෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය කියන වචනයවත් පාවිච්චි නොකරයි. ඒ අනුව සාමාන්‍ය මුදල් නඩු විදිහට මේවා දහස් ගණනින් මේ වන විට විභාගයට ගැනෙනවා. මේ අර්බුදය විසඳීම සඳහා නිසි නෛතික රාමුවක් සකස් කරන තෙක් මෙම නඩු පැවරීම් තාවකාලිකව අත්හිටුවන ලෙසට අපි යෝජනාවක් කළා. නමුත් අධිකරණ අමාත්‍යාංශය එයට එකඟ වුණේ නැහැ. ඔවුන්ගේ තර්කය වුණේ තැන්පත්කරුවන්ගේ මුදල් යොදාගෙන සමාගම් මේ ව්‍යාපාරය කරන නිසා, අය කර ගැනීමට නොහැකි වුණොත් එම සමාගම්වලට එරෙහිව මහබැංකුව විසින් නියාමන ක්‍රියාමාර්ගය ගන්නා බවයි. ඒ අනුව නඩු කටයුතු වලට වින්දිතයන්ට සහාය ලබාදීමේ කාර්යය අපේ උර මත පැටවී තිබෙනවා“ යනුවෙනි.
ක්‍රිබ් එකෙන් ඉවත් කරන්නේ නැහැ!
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් මහබැංකුවේ අසාධු ලේඛනයෙන් (CRIB) ඉවත් කිරීමේ යෝජනාව ද ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවේදී ඉවත දැමිණි. මුදල් අමාත්‍යාංශය විසින් සිදුකළ රුපියල් ලක්ෂයක ණය කපා හැරීමේ වැඩපිළිවෙළ තුළ රජය විසින් ලබාදුන් එක් ප්‍රධාන විසඳුමක් වූයේ ක්ෂුද්‍ර මූල්‍ය උවදුරෙන් මිදීම සඳහා එම වින්දිතයන්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ණය සහන වැඩපිළිවෙළට ඇතුළත් විය හැකි බවයි. නමුත් මේ වන විටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් අති බහුතරය ඉතා සුළු මුදල් ප්‍රමාණවලට පවා අසාධු ලේඛනගත ව සිටින බව පෙන්වා දුන් ක්‍රියාකාරීන් සඳහන් කළේ රජය විසින් යෝජනා කරන විකල්ප යථාර්ථයක් බවට පත් කරගැනීමට නම් ඔවුන් අසාධු ලේඛනවලින් ඉවත් කළ යුතු බවයි. නමුත් එය ප්‍රායෝගිකව කළ නොහැකි බවත්, එම පිරිස හඳුනා ගැනීමේ ගැටළුවක් තිබෙන බවත්, අසාධු ලේඛනය සම්මුතික වශයෙන් වෙනස් කළ නොහැකි බවත් මනෝ තිත්තවැල්ල මහතා කියා සිටියේය.
නීතිවිරෝධී ණය ලබාදීම් ඉදිරියේදී රටේ අහෝසි වේවි
කෙසේ නමුත් යෝජිත පනත අනුව ඉදිරියේදී නිසි බලපත්‍රවලින් තොරව ණය ලබාදීමේ කටයුතුවල යෙදෙන මූල්‍ය සමාගම් සියල්ලටම වැට බැඳීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා පැවසීය.
මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා ප්‍රකාශ කළේ මේ අනුව ග්‍රාමීය ජනතාවට මුදල් පහසුකම් ලබාදීමේ ගැටළුවක් මතුවිය හැකි නිසා, ඒ පිළිබඳව රජයේ මැදිහත්වීමෙන් ලිහිල් කොන්දේසි මත යම් වැඩපිළිවෙළක් සකස් කිරීමට සූදානම් කරන බවයි.
ක්‍රියාකාරිකයන් මෙහිදී පෙන්වා දුන් වැදගත් කරුණක් වූයේ දැනටමත් නීතිවිරෝධී සහ සදාචාර විරෝධී අන්දමින් කටයුතු කරන නියාමනයට ලක් වන සහ ලියාපදිංචි වූ මූල්‍ය ආයතන රාශියක් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ යෙදෙන බවයි. ඒ පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බලධාරීහු එවිට ප්‍රකාශ කළහ.
35% උපරිම පොලී අනුපාතිකය, අලුත් කරන ගිවිසුම්වලටත් බලාත්මකයි!
මේ වන විට ශ්‍රී ලංකා මහබැංකුව විසින් නියම කර ඇති 35% උපරිම පොලී අනුපාතිකය ලංකාවේ පිළිගත් ක්ෂුද්‍ර මූල්‍ය සහ මුල්‍ය සමාගම් විසින් සූක්ෂම ලෙස මගහැර යන බව නීතීඥ රදිකා ගුණරත්න විසින් පෙන්වා දුන්නාය. ඒ, නව ගිවිසුම්වලට එළඹීම වෙනුවට අලුත් ණය නිකුත් කිරීම්, පෙර පැවති ගිවිසුම් අලුත් කිරීම් වශයෙන් සිදුකිරීම මගිනි. එහිදී පෙර පැවති ඉහළ පොලී අනුපාතිකම තවදුරටත් පවත්වාගෙන යාමට ඉඩ ලැබී තිබෙන්නේ නව පොලී අනුපාතිකය අදාළ වන්නේ අලුත් ගිවිසුම්වලට පමණක්ය යන පදනම මත පිහිටා ඔවුන් කටයුතු කරන හෙයිනි. එවිට මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ වහාම මේ තත්වය නතර කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව මෙම නව පොලී අනුපාතිකය ශ්‍රී ලංකා මහබැංකුව විසින් ක්‍රියාත්මක කළ දින දා පටන් අලුත් ගිවිසුම් සහ අලුත් කරන ගිවිසුම් යන කාණ්ඩ දෙකටම අදාළ විය යුත්තේ 35% උපරිම පොලී අනුපාතිකයයි.
ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් 35%ක් වැනි ඉහළ පොලී අනුපාතිකයක් ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නොවන බවත්, ඉන්දියාව වැනි රටවල මේ පොලී අනුපාතිකය 5-10% අතර ප්‍රමාණයක් ගන්නා බවත් පෙන්වා දුන් විට මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මූල්‍ය සමාගම්, සිය අධික වියදම් සහ සේවක නඩත්තුව පිළිබඳ කාරණය ඉදිරිපත් කරමින් මීට වඩා පහළ පොලී අනුපාතිකයක් සඳහා කිසිසේත්ම එකඟ නොවන බවයි.
උද්ගත ව ඇති තත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී බලධාරීන් සහ ක්‍රියාකාරීන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
– අමාලි ජයවීර (LNW)