විධායකය එපා කියන ජවිපෙ යෝජනාවට එකඟ වුවොත් මහින්ද කඳවුරෙන් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ
මුළු රටටම ඉල්ලන ගෝඨාභය රාජපක්‍ෂයන් මහින්ද කඳවුරේ සිටියදී ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන එ.ජා.ප. – ජ.වි.පෙ. උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ මොහොතක්වත් ප්‍රමාද නොවන බව එම පක්‍ෂයේ නායක විමල් වීරවංශ අවධාරණය කරයි. පසුගියදා මොරටුව නගරයේ පැවැති ‘රටට මොකද වෙන්නේ?’ යන තේමාව යටතේ පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.
මෙහිදී විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා හා එකඟව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වූ ඔක්තෝබර් 26 වැනිදා සිට ටී.එන්.ඒ. සහ ජ.වි.පෙ. උදවිය, ඊනියා සිවිල් සමාජය හෙවත් රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන් ටික ඒ රාජ්‍ය නොවන සංවිධානවලට සින්න වුණු ඊනියා විද්වතුන් ටික ‘ප්‍රජාතන්ත්‍රවාදය උදුරාගත්තෝ – ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න රනිල් ආපසු අගමැති කරපියෝ’ කියමින් ‘භූමිතෙල් ගෑවුණු ගැර¾ඩියෝ’ ටිකක් වගේ දඟලපු හැටි අප කාටත් අමතක නැහැ. ඔවුන්ට අනුව සිදුවුණේ රනිල්ගේ අගමැති පට්ටමට තට්ටු වීම නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම. ඒ අනුව පට්ටම ආපහු රනිල්ට දුන්නොත් ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම කියලා පට්ටම ආපසු ගත්තානේ. දැන් කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනවාද?
ගාල්ලේ රත්ගම තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් මරා දමා මළසිරුරු පුලුස්සා දමා තිබෙනවා. මේකද රනිල්ට අගමැති පට්ටම ආපසු දීලා ලබාගත්තු ප්‍රජාතන්ත්‍රවාදය? හැමදාම මැතිවරණයක් ළං වෙලා ‘තාජුඩීන් මන්තරය’ ජප කරන ජ.වි.පෙ. හා එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් ටික මේ සිදුවීම ගැන මුනිවත රකිනවා. දැන් බස්නාහිර පළාත් සභාවේ නිල කාලයත් අවසන් වීමට ළඟයි. ඒත් පළාත් සභා ඡන්දය අනන්තයටම කල් දමමින් ඉන්නවා. ඒද යළි රනිල් අගමැති කර බලාපොරොත්තු වූ ප්‍රජාතන්ත්‍රවාදය?
ඒ විදියට ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් තිබියදී දැන් ‘විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම’ පිළිබඳව මේ අය කතා කරමින් ඉන්නවා. ජනතාව ඉල්ලා සිටිනවා නම් පාර්ලිමේන්තුව, එය බලයට පත් වී වසරක කාලයක් ඉක්ම වීමෙන් පසු විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණා. එදා 2001 දෙසැම්බර් බලයට ආ රනිල්ගේ ආණ්ඩුව ප්‍රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුම් ගහලා උතුර කොටියාට දෙන්න හදනකොට ඒ පාලනය අවසන් කරලා 2004 අප්‍රේල් මාසයේදී නව ආණ්ඩුවක් ගෙන ඒමට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කටයුතු කළේ එම බලය අනුවයි. කොටියාට උතුර දෙන්න හදන විටයි ජනතාව ‘රනිල්ගේ පාලනය එපා!’ කියලා මහ මැතිවරණයක් ඉල්ලා සිටියේ. ජනතාවගේ විළිරුදාව තේරුම් ගෙනයි එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. එහෙම නැතිව බලය තිබුණා කියා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් ජනාධිපතිවරයාට මානසික ආබාධයක් ඇති විය යුතුයි. මේ මොහොතේ ජනතාව මහ මැතිවරණයක් ඉල්ලා සිටිනවා. ඒ විළිරුදාවෙන් රටම පෙළෙනවා. මේක, හංසයාට කතිරේ ගහපු උදවිය පවා ඒ වැරැද්ද නිවැරැදි කරගන්න මහ මැතිවරණයක් ඉල්ලා සිටින වෙලාවක්.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ මහජනයාට ලැබිය යුතුව තිබූ ප්‍රජාතන්ත්‍රවාදයට තට්ටු කරපු එක. දැන් ආයෙත් ජනතා විමුක්ති පෙරමුණ එනවා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔසවාගෙන. ’20’ ඔසවාගෙන ආවට වැඩක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කරලා ඉවරයි ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ඔය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අපි පිළිගන්නේ නැහැ’ කියා. ඒ නිසා අද ඔය ප්‍රජාතන්ත්‍රවාදී ‘සීනි තවරපු’ මේ රාජ්‍යය දුර්වල කරන, අස්ථාවර කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ අපේ කඳවුර බිලී බාගෙන 20 සම්මත කර ගැනීමට හදනවා නම් එදාට තමයි අපට මේ දේශපාලන කඳවුරට ආයුබෝවන් කීමට සිදු වන්නේ. ඒකට අපි මොහොතක්වත් පසුබට වෙන්නේ නැහැ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උගුල මේ අය දැන් කඩිමුඩියේ අටවන්න හදන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තියා එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂයා ලෙස ඉල්ලන්න ලැබෙයි ද කියන එකත් ‘ෂුවර්’ නැහැ. ඒ නිසා තමයි රනිල් ‘විධායක ජනාධිපති ක්‍රමය එපා!’ කියන්නේ.
නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ අපේ දේශපාලන කඳවුරට එහෙම අහේනියක් නැහැ. අපේ කඳවුර ජනාධිපතිවරණවලට බිය විය යුතු කඳවුරක් නොවෙයි. වෙනදා ජනාධිපතිවරණවලට පක්‍ෂවලින් අපේක්‍ෂකයන් තෝරන තෙක් ජනතාව බලා සිටියා. නමුත් අද පක්‍ෂ භේදවලින් තොරව මේ රටේ ජනතාව තම අපේක්‍ෂකයා තෝරා ගෙන ඉවරයි. අද මුළු රටටම ඉලන්නේ ‘ගෝඨාභය රාජපක්‍ෂ’ අද මුළු රටම ඉල්ලන්නේ හැදියාවක් සහිත පාලනයක්, වංචාවෙන් දූෂණයෙන් තොරව මේ රට පාලනය කිරීමේ මාවතක්. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කර ගන්න ගිය රජයේ නිලධාරීන්ට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හයිය ගත්තු පිරිසක් පහර දෙන ආකාරය අපි දුටුවා. උතුරේ පමණක් නොවෙයි මුළුමහත් රට තුළම කිසිවකුටත් නීතිය අතට ගැනීමට ඉඩ දිය යුතු නැහැ. එවැනි පාලනයක් මුළු රටම අද ඉල්ලා සිටිනවා.
ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්තුමා පිරිසුදු පාලකයකු ලෙස තමන්ගේ රාජකාරිය ඉටු කරපු බව මුළු රටම දන්නවා. යුද්ධ කරද්දී හොරා කෑවේ නැහැ. හොරා කන කිසිවෙක් යුද්ධයක් ඉවර කරන්නේ නැහැ. අවුරුදු 30ක් තිස්සේ යුද්ධය ඇදෙමින් ආවේ ඒකයි. යුද්ධ කරද්දී හොරා කනවා නම් හොරා කකා යුද්ධ කරගෙන යෑමටයි හිතන්නේ. රස වැටුණාම ඒක තමන්ගේ ඉල්ලීමක් බවට පත් කර ගන්නවා. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධය පටන් අරන් අවුරුදු 04කින් අවසන් කළා. යුද්ධය තමන් හම්බ කරන් කන තිප්පොළක් බවට පත්කර ගත්තේ නැහැ. එහෙම නායකයෙක් අද මුළු රටම ඉල්ලනවා. වෙනසක් කිරීමට ගොස් අවිනිශ්චිත ඉරණමක් ළඟා කරගත්තු රටක් බවට මේ රට අද පත් වී තිබෙනවා. මේ ආණ්ඩුව රටට විජයග්‍රහණය ලබාදුන් රණවිරුවන් ‘සුද්දන්’ සතුටු කිරීම පිණිස හිරේ දමමින් සිටිනවා.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර අත්අඩංගුවට ගෙන ‘ඔන්න අපි වැඩේ හරියට කරනවා’ කියන්න දැන් වැඩේ හදලා ඉවරයි. කරන්නාගොඩ මහත්තයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බොරු සාක්‍ෂි දුන් නාවික හමුදා නිලධාරියා තමයි පසුගියදා ඊට තෑග්ගක් ලෙස රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස මුදල් ඇමැති මංගල සමරවීර විසින් පත් කිරීමට සූදානම් වුණේ. අර අපේ රණවිරුවන්ට අපහාස කළ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ඔය කියන නාවික හමුදා නිලධාරියා එක්ව නාවික හමුදාවට ආයුධ මිලදී ගැනීම්වලදී දූෂිත ලෙස කටයුතු කළ බවට චෝදනා තිබුණා. ඒවා දැන සිටි කරන්නාගොඩ මහතාගෙන් පළිගැනීමට අද මංගල සමරවීර, හේමසිරි ප්‍රනාන්දු සාකච්ඡා කර ඉහත නිලධාරියා යොදාගෙන බොරු සාක්‍ෂි හැදුවා. එවැනි අහස පොළොව නුහුලන අපරාධ ‘2015 ජනවාරි 08 වැනිදා වෙනස’ නිසා අද මේ රටේ සිදු වෙනවා.
නමුත් අපි හැමදාම රට වෙනුවෙන් කිසිවක් අපේක්‍ෂා නොකර ඒ දුෂ්කර අවස්ථාවන්වලට කර ගැහුවා. පෞද්ගලිකව කිසිවක් නොලැබුණත් අපි කර ගහපු සටන අතරමඟ දාලා යන්නේ නැහැ. ඉතිහාසය පුරා දාලා ගිහිල්ලත් නැහැ. එළියෙන් ගැහුවත් – ඇතුළෙන් ගැහුවත් – මධ්‍යයෙන් ගැහුවත් ඒ ගහන ඕන ගැහිල්ලකට මුහුණ දෙන්න බැරි නම් අපි මේ දේශපාලනය කරන්නේ නැහැ. මේ රට යළි හරිමඟට ගන්න සටන, මේ පාලනය අවසන් කර ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරන සටන අපි කිසි ලෙසකින්වත් අතහරින්නේ නැහැ. ඒ නිසා ‘සියලු බොරු වළවල් මඟහරිමින් ජයග්‍රහණය තෙක් පෙරට යමු’ කියා රටට ආදරය කරන සියලු ජන කොටස් වෙතින් ඉල්ලා සිටිනවා.
(මව්බිම)