පළාත් සභා ඡන්දය කල් දැමීමට එරෙහිව මැතිවරණ කොමිසම නඩුමඟට
ලබන අප්‍රේල් මාසයේ මුල් දෙසතිය තුළ, දැනට හිස්ව පවතින පළාත් සභා සඳහා ඡන්ද විමසීමට පියවර නොගතහොත්, මැතිවරණ කොමිෂන් සභාව ශේර්ෂ්ඨාධිකරණය හමුවට ගොස් ඒ සඳහා විසඳුමක් ලබාගැනීමට සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.
පළාත් සභා ඡන්දය නියමිත අවස්ථාවේ පැවැත්වීමට කටයුතු නොකිරීමේ ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳ පරමාධිපත්‍ය උල්ලංඝනය වනවා පමණක් නොව, සර්වජන ඡන්දය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය මේ වන විටත් පලුදුවී ඇති බවත්, පළාත් සභා ඡන්ද විමසීම තවත් ප්‍රමාදවීමට ඉඩ නොතබන ලෙසත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂ නායක, කැබිනට් මණ්ඩලය, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ නායකයන් වෙත ලිපියක් යවමින් දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභා ඡන්දය නියමිත වේලාවට නොපැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ඉදිරි දෙසතිය තුළ ශේර්ෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකිරීමට යන බවද වාර්තා වේ. මේවන විට සබරගමුව, උතුරු මැද, නැඟෙනහිර, මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා හයෙහි නිල කාලය අවසන් වී ඇත.