ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රජරට කාන්තාවන්ගේ රීරි මාංස උරන ක්ෂුද්‍ර මූල්‍ය සේනා දළඹුවා

වගා ණය ගෙවා ගැනීමට නොහැකිව ගොවියෝ බුරුතු පිටින් සිය දිවි නසා ගත් අඳුරු යුගයක් මෙරට පැවතියේ මීට දශක දෙක හමාරකට පමණ ඉහතදීය. ඊට පරයා නැඟෙන දුක්මුසු විලාපයන් මෙහිලා රටේ සිවුකොනේ ඇසෙමින් තිබේ. ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ගිනි පොලියට ණය ලබාගත් කාන්තාවන්ගෙනි ඒ.

ඔවුන් එලෙස ණය ලබාගෙන ඇත්තේ සිය නැති බැරිකම් නැතිකර ගැනීම සඳහා වගා කටයුතු, ස්වයං රැකියා ආදිය ආරම්භ කිරීමට බවද කියති. එහෙත් ඒ ණය නැවැත ආපසු ගෙවා ගැනීමට නොහැකිව ණය බරින් මිරිකී සිටි කාන්තාවන් 169 දෙනකු මේ වන විට සිය ජීවිතවලින් අකාලයේ සමුගෙන ගොස් තිබෙන බව පැවසේ.

ඊට අමතරව මේ ණයබරිත භාවය නිසා දෙදරා ගිය පවුල් ජීවිත, තම ගම්බිම් අත්හැර දමා ගිය කතුන් විශාල ප්‍රමාණයක් වන බවද හෙළිදරව් වී තිබේ.

ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවල මඟ පෙන්වීම මත ස්වයං රැකියා ඇරඹීමට වෙනත් ජීවනෝපාය මාර්ග සඳහා එකිනෙකාට ඇප වෙමින් මේ ණය ලබාගෙන තිබෙන බොහෝ දෙනා ගම්බද කාන්තාවෝය. ගම්වල වෙසෙන රැකියා විරහිත කාන්තාවන්ගෙන් සියයට 90ක් පමණ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන තිබෙන බවත් ඇතැම් කාන්තාවන් එක් ආයතනයකින් නොව ආයතන දෙක තුනකින් ණය ලබාගෙන තිබෙන බවත් අනාවරණය වේ. මේ අන්දමට ලබාගත් ණය ආපසු පියවීමට නොහැකි වීම නිසා පෙර කී පවුල් සංස්ථා දෙදරා යෑම්, ගම් හැර යෑම් පමණක් නොව ඇතැමුන් අකාලයේ ජීවිතවලට සමුදී තිබීම තුළින් බරපතළ සමාජ ඛේදවාචකයක තරම පෙන්නුම් කරනු ලබයි. ඒ පිළිබඳව විමසුම් ඇස යොමන්නට පොළොන්නරුවේ අෑත දුෂ්කර ගම්මාන වෙත ගිය ගමනේදී සේනා දළඹුවකු පරිද්දෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ඒ ගම්බිම් ආක්‍රමණය කර තිබෙන බව ඉතා පැහැදිලිව දැකගත හැකි විය. ණය ලබාගෙන ආරම්භ කළ ස්වයං රැකියා ආදිය අසාර්ථක වී, ගොවිතැන් පාළුව ණය බරින් පීඩිතව සිටින බොහෝ කාන්තාවන් අපට ඒ ගමනේදී මුණ ගැසුණි. ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවල නියෝජිතයන් ණය අය කර ගැනීම සඳහා ගේ ‍ෙදාරකඩට පැමිණෙන විට තමන් පෑළ ‍ෙදාරින් නික්ම ගොස් කොහේ හෝ සැඟවෙන බවද ඇතැම් කාන්තාවෝ අප සමඟ කීහ.

ඇලහැර මහ ගොවි ජනපදයට අයත් අත්තනකඩවල පොකුණුගලදී අපට මුණ ගැසුණු දෙදරු මවක වන දීපා කුමුදුනී සේනාසිංහ මහත්මිය අප සමඟ මෙසේ පැවැසුවාය.
“මේ ගමේ පවුල් 300ක් විතර ඉන්නවා. 275ක් පමණ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ආපසු ගෙවා ගන්න බැරුව අපහසුතාවට පත්වෙලයි ඉන්නේ. අපි සල්ලි ගත්තේ ගොවිතැන් වැඩවලට. නමුත් පසුගිය කන්න කිහිපයක්ම ගොවිතැන් පාළු වුණා. ඒකයි ණය ගෙවාගන්න බැරිවුණු හේතුව”

ඩබ්ලිව්.එම්. විජිතා කුමාරි මැණිකේ මහත්මිය

“අපි සල්ලි ගත්තෙත් ගොවිතැන් වැඩවලට. වගා පාළුවීම තමයි ණය ගෙවා ගන්න බැරිවුණු හේතුව. මම ගත්තේ රුපියල් 75,000යි. ණය මුදලෙන් කොටසක් ගෙව්වා. හැමෝටම වගේ වුණේ තමන්ගේ ගොවිතැන් විනාශ වෙච්චි එකයි. ණය අය කරගන්න එන මහත්තුරුන්ට අපි මේ කාරණය කිව්වට වැඩක් නෑ. ඒ අය කියන්නේ කොහොම හරි ගෙවන්න කියලයි.

අත්තනකඩවල, පොකුණුගලදී මුණ ගැසුණු ඩී.ජී. පද්මිණී කුමුදු කුමාරි මහත්මිය මෙසේ කීවාය.

“අපිට මේ ණය දෙන කොට ඉතාමත් සහනදායි ණය වැඩසටහනක්. මේක ගම්වල කාන්තාවන් සඳහා තමයි දෙන්නේ. ඉතාමත් අඩු පොලියට ණය දෙන්නේ කිව්වා. නමුත් අපි පස්සේ තමයි දන්නේ පොලිය සියයට තිහයි කියලා. ණය මුදලෙන් කොටසක් ගෙව්වා. දැන් ඉතිරි මුදල ගෙවන්න කියලා නිතරම ඇවිල්ලා කරදර කරනවා. නොගෙව්වොත් පස්සට කරදර වෙයි කියලා අපිව බය ගන්වනවා. දැන් මේ වෙන කොට නඩු දානවා කියල ලියුම් එවලා තියෙනවා”

“ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන පීඩාවට පත්ව සිටින කාන්තාවන් එක්ව ගම්වල සංවිධාන පිහිටුවාගෙන තිබෙන බවද මේ ගිය ගමනේදී අපට දැනගන්නට ලැබිණි. අත්තනකඩවල ගම්මානයේ එසේ පිහිටුවාගෙන තිබෙන සංවිධානයේ සභාපතිනිය යූ.ජී. දිනූෂා මධුවන්ති මහත්මියයි. ඇය මෙසේ සිය අදහස් පළ කළාය.

“අපේ ගම්වල විශාල පිරිසක් ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ආපසු ගෙවා ගන්න බැරුව ඉන්නවා. රජය මේ ණය කපා හරිනවා කියලා පසුගිය දිනවල අපට දැනගන්න ලැබුණා. නමුත් අපි ණය ලබාගෙන තියෙන ආයතනවල මහත්තුරු ගම්වලට ඇවිල්ලා කියනවා එහෙම තීරණයක් නෑ. ඒක බොරුවක්. කොහොම හරි ණය ගෙවලා දාන්න කියලා. දැන් අපි ගත්ත ණය මුදලෙන් විශාල ප්‍රමාණයක් ගෙවලා තියෙන්නේ. නමුත් ඒක පොලියට කැපිලා. අපි කලින් දන්නේ නෑ. මේ වගේ විශාල පොලියකට මේ ණය දෙන්නේ කියලා. අපි රජයෙන් ඉල්ලා හිටින්නේ මේ ප්‍රශ්නයට අපිට සහනයක් ලබලා දෙන්න. මේ ණය නි‍ෙදාස් කරලා දෙන්න කියලයි”

අත්තනකඩවල පදිංචි එච්.ජී. ශ්‍රියානි මල්ලිකා මහත්මිය

“මගේ මහත්තයා අවුරුදු 20ක් යුද හමුදාවේ සේවය කරලා යුද්ධෙදී ආබාධිත වුණා. අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුවත් ආබාධිතයි. මම මේ ණය ගත්තේ ස්වයං රැකියාවක් විදියට පාපිසි මහන්න. ණය මුදලෙන් කොටසක් ගෙවලා තියෙනවා. අපිට කිව්වේ ලොකු පොලියක් ගන්නේ නෑ කියලයි. නමුත් දැන් දාන සල්ලි ඔක්කොම පොලියට කැපිලා ඉවරයි. ණය දුන්නු ආයතනවල මහත්තරු දැන් ඇවිල්ලා කරදර කරනවා කොහොම හරි ණය ගෙවන්න කියලා. ගෙවල්වලට ඇවිල්ලා පැය ගණන් ඉන්නවා යන්නේ නැතුව. ඒකත් හරිම කරදරයක්”

“ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ණය දෙන්නට දැල නොඑළන ලද ගම්මානයක් මේ රජරට පුරාවට නොමැති තරම්ය. ගම්වල වෙසෙන ජනතාවගේ ජන ජීවිත නඟා සිටුවන්නට දෙන ඉතාමත් ලාභදායී ණය මුදලක් ලෙස හඳුන්වාදීම නිසා ඒ ණය ලබා නොගත් කෙනකු ගම්වල සොයා ගැනීම අපහසුය. එහෙත් දැන් එය ලබාගත් ජනයාට ආපසු ගෙවීමට නොහැකිව ණය බරක් වී ඇතුවා පමණක් නොව පෞද්ගලිකත්වයටද හිරිහැරයක්, කරදරයක් වී ඇති බව බොහෝ දෙනාගේ කතා බහෙන් අපට පැහැදිලි විණි. මේ නිසාම දැන් මේ කාන්තාවන් එකතුවී ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ සංවිධානය නමින් සංවිධාන ගොඩනඟාගෙන සාමූහිකව මේ ප්‍රශ්නයට මුහුණදීමට තීරණය කර ඇති බව අපට දැනගන්නට ලැබිණි.

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුදමන ගම්මානයේ පිහිටුවා තිබෙන ඒ කාන්තා සංවිධානයේ සභාපතිනිය වනුයේ කේ.එච්.එම්. හේමමාලි පද්මකුමාරි මහත්මියයි. ඇය පැවැසුවේ තම ගම්මානයේද 300කට ආසන්න පිරිසක් මේ වන විට ණය ලබාගෙන තිබෙන බවයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් තම කුඹුරු ගොවිතැන් සඳහා ඒ ණය ලබාගෙන තිබෙන බවද ඇය කීවාය.

“මමත් රුපියල් ලක්ෂයක් ණය ගත්තා. 42,500ක් ගෙවලා තියෙනවා. තවත් රුපියල් 84,000 කට වැඩි මුදලක් ගෙවන්න තියෙනවා. ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනයේ නියෝජිතයන් ඇවිල්ලා නිතර නිතර ණය ගෙවන්න කියලා කරදර කරනවා. ණය අරගෙන ගෙවාගන්න බැරිවුණු අනෙක් අයටත් ඒක තමයි තත්ත්වය. මගේ ස්වාමි පුරුෂයා දැනට ජීවතුන් අතර නෑ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අය පාසල් යනවා. ණය ගෙවා ගන්න බැරි වුණේ ආර්ථික දුෂ්කරතා නිසායි”

මඩුදමන ප්‍රදේශයේදී මුණ ගැසුණු එක්දරු මවක වන ඒ.එම්. ලලිතා මල්ලිකා මහත්මිය මෙසේ කීවාය.

කුඹුරු ගොවිතැනට තමයි අපි ණය අරගත්තේ. රුපියල් 50,000ක් එක ආයතනයකින් අරගත්තා. පොලිය සියයට 28යි. ඒ ණය මුදලෙන් රුපියල් 13,700ක් ගෙවන්න තියනවා. තවත් ආයතනයකින් රුපියල් 90,000ක් ගත්තා. ඒකට රුපියල් 62,000ක් තව ගෙවන්න තියෙනවා. ඒ ආයතනවලින් නිතරම අපේ ගෙවල්වලට එනවා. කොහොම හරි ණය ගෙවන්න කියලා කරදර කරනවා. වගා හානි නොවුණා නම් මේ සල්ලි කොහොම හරි ගෙවනවා. අපි වංචාකාරයෝ, හොරු නෙවෙයි.”

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහෝ ගම්මානවලද ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ණය වපුරනු ලැබ තිබෙන බව අපට දැනගන්නට ලැබිණි. එහිදී වැඩිදෙනා ගොවිතැන් කටයුතු සඳහා ණය ලබාගෙන තිබෙන අතර පසුගිය කන්නවල සිදුවූ වගා හානි හේතුවෙන් ලබාගත් ණය මුදල සහ ඊට අදාළ පොලිය මුළුමනින්ම ගෙවා අවසන් කර ගැනීමට බොහෝ දෙනකුට නොහැකිව තිබේ. අප ඔවුන් හමුවට ගිය ගමනේදී ඒ කාන්තාවන්ද කියා සිටියේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවල නියෝජිතයන් ණය අය කර ගැනීම සඳහා තමන්ට විවිධ බලපෑම් කරන බවයි.

මේ නිසා ණය ලබාගත් ඇතැම් කාන්තාවන් තම ගම් ප්‍රදේශය අත්හැර ගොස් තිබෙන බවද ඔවුහු පැවැසූහ. ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් ණය ලබාගෙන එය ආපසු ගෙවා ගැනීමට නොහැකිව තිදරු මවක ජීවිතයෙන් සමුගත් සිද්ධියක් පිළිබඳවද අපට දැන ගන්නට ලැබුණු අතර පාසල් යන වයසේ පසුවන ඇගේ දරුවන්ට සමාජයට මුහුණ දීමට නොහැකිව ලජ්ජාවට පත්වන හෙයින් මිය ගිය කාන්තාවගේ සැමියා ඒ තොරතුරු හෙළි කිරීමට මැළි වන බවද හෙළි විය.

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන විපතට පත්වූ මැදිරිගිරිය, පැරකුම්පුර ප්‍රදේශයේ කාන්තාවන්ගේ සංවිධානයේ සභාපතිනිය ජේ.ඒ. රන්මැණිකේ මහත්මිය පැවැසුවේ මෙවැනි අදහසකි.
“මේ හැමෝටම වගේ ණය ගෙවාගන්න බැරි වුණේ ගොවිතැන් පාළු වුණා. ස්වයං රැකියා අසාර්ථක වුණා. ඒ වගේ හේතු නිසායි. අපි මේ ගැන ඉතාමත් පැහැදිලිව ඒ මහත්තුරුන්ට කිව්වා. නමුත් ගෙවල්වලට ඇවිල්ලා කරදර කරනවා ණය ගෙවන්න කියලා. මේ නිසා සමහරු ගෙවල් අත්හැරලා ගිහිල්ලා. සමහරුන්ගේ පවුල් ජීවිත පවා අවුල් වෙලා. ණය ගත්ත බව හැබෑව. නමුත් එදා වේල ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගත් කාන්තාවන්ට ඒවායේ ණය අය කර ගැනීම සඳහා එන නියෝජිතයන් විසින් කරන බලපෑම් පිළිබඳව මේ හෙළිදරව්ව කළේ මැදිරිගිරිය, පැරකුම්පුර, මැදගම ප්‍රදේශයේදී මුණගැසුණු එම්.ජී. චන්ද්‍රාවතී (59) මහත්මියයි.

“මම පොඩි කඩයක් කරගෙන ජීවත් වෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මම රුපියල් 40,000ක් අරගෙන තියෙනවා. ණය වාරික ගෙවන්න ප්‍රමාද වුණා කියලා පසුගිය දවසක සවස 5.30ට විතර ආයතනයේ මිස් කෙනෙක් අපේ ගෙදරට ආවා. මම කඩේ වහලා දුවෙකුගෙ ගෙදරට යන්න පාරට එන ගමන් හිටියේ. මම ඒ මිස්ට කිව්වා අද සල්ලි දෙන්න විදියක් නෑ. හෙට හරි, අනිද්දා හරි කොහොම හරි ගෙවන්නම් කියලා. නෑ අද කොහොම හරි ගෙවන්න කිව්වා. මම සල්ලි නෑ කියලා කිව්වම ඒ මිස් එයාගේ ඔෆිස් එකට කෝල් කරලා මහත්තරු තුන්දෙනෙක් එතැනට ආවා මෝටර් සයිකල් තුනකින්. ඒ තුන් දෙනා තුන් පැත්තකින් මාව වටකර ගත්තා. අද කොහොම හරි දෙන්න කියලා මට බල කළා. ඒ වෙලාවේ මට ලොකු බයක් ඇතිවුණා. මම කිව්වා මගේ පුතා මාළු වෙළෙ¼දාමේ ගිහිල්ලා ඉන්නේ මම එයාට කෝල් එකක් අරගෙන කියන්නම් සල්ලි ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ පුතාට කතා කළාම පුතා කිව්වා මහත්තුරුන්ට කියන්න හෙට උදේම දෙනවා කියලා.

මම එහෙම කිව්වා. නමුත් ඒ අයට මට යන්න දුන්නේ නෑ. මාව කොටු කරගෙන හිටියා. ආයෙත් පුතාට කතා කරලා කිව්වම පුතා කිව්වා ෆෝන් එක මහත්තයකුට දෙන්න කියලා. පස්සේ පුතා ඒ අයට බැනලා කියලා තියෙනවා අම්මට යන්න දෙන්න කියලා. ඊට පස්සේ තමයි මට යන්න දුන්නේ පැය 1 1/2කට විතර පස්සේ.

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ආපසු ගෙවා ගැනීමට නොහැකිව සිටින කාන්තාවන්ගේ දුක් මැසිවිලි අප්‍රමාණය. සිය ජීවන අරගලය ජය ගන්නට මොවුන් මේ ණය ලබාගෙන ඇතත් ඉන් පරාජයට පත්වී ජීවිතයෙන්ද පලා යෑමට තීරණය කර තිබීම ඉතාමත්ම දුක්මුසු තත්ත්වයක් බව ප්‍රගතිශීලි ගොවිජන සම්මේලනයේ සභාපති එම්.කේ. ජයතිස්ස මහතා පවසයි.

මේ වන විට රටපුරා කාන්තාවන් 169 දෙනකු ණය බරින් පීඩිතව අකාලයේ ජීවිත විනාශ කර ගැනීම තුළින් මේ සමාජ ඛේදවාචකයේ බරපතළකම පෙන්නුම් කරන බව ඔහු කීය. ඒ නිසා තම සංවිධානය ඔවුන් ඒ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම මේ දිනවල සිදු කරන බවත් රජය මැදිහත්ව මේ ගැටලුවට නිසි විසඳුමක් ලබාදීම කල් නොයවා සිදුකළ යුතු බවත්, ජයතිස්ස මහතා පැවැසීය. ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවල නියෝජිතයන් ණය මුදල් අය කර ගැනීම සඳහා කරනු ලබන බව කියන විවිධ බලපෑම් සදාචාර සම්පන්න නොවන බවත් ඒ පීඩාවන්ගෙන් ඔවුන් මුදා ගැනීම මූලික වශයෙන් කළයුතුව තිබෙන බවද පෙන්වා දුන්නේය. මේ කාන්තාවන්ට ණය ලබාදී තිබෙන බොහෝ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය හෝ නොමැති ඒවා බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් ඉතාමත් අසාධාරණ පොලී අනුපාතයන් මත ගම්වල කාන්තාවන් රවටා මේ අන්දමට ණය නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ගම්බද කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මීට වඩා සහනදායි, සාධාරණ පොලියකට ණය ලබාදී ජීවන මාර්ග ශක්තිමත් කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කළ හැකි බවද ඊට සරිලන විධිමත් වැඩ පිළිවෙළක් සකස් කිරීම රජයේ වගකීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ඉතා අධික පොලියට ණය ලබාගෙන ඒවා නැවැත ගෙවා ගැනීමට නොහැකිව ණයබරිත භාවයට පත්ව සිටින බොහෝ ගම්බද කාන්තාවන්ගේ ගැටලුව වර්තමානයේ බරපතළ සමාජ ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබෙන බව නොරහසකි.

අනුරාධ විශ්වනාත් – (මව්බිම)