රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කළ මහින්දගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා නිදොස්කොට නිදහස් කරන්නැයි ඉල්ලීමක්
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රජයේ මුදලින් රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි ගොනු කර ඇති නඩුවෙහි විත්තිවාචකය නොකැඳවාම ඔවුන් නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව විත්තියේ නීතීඥවරු අද (12) අධිකරණයට දැනුම් දුන්හ.
ඒ, එම නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.
නඩුවට අදාළ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද දිනයේ අවසන් කෙරුණු අතර ඒ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් අධිකරණයට දන්වා සිටින ලදී.
එහිදී විත්තිකරුවන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බැවින් විත්තිවාචකය නොකැඳවාම ඔවුන් නිදොස්කොට නිදහස් කරන මෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ ඉල්ලීක් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා කාලය ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවත්ය.
ඒ අනුව එම ඉල්ලීමට අදාළව පෙවරවාරි 22 වනදා කරුණු දක්වන මෙන් විනිසුරු මඬුල්ල නියෝග කරන ලදී.
2014 පෙබරවාරි 01 – 2015 ජනවාරි 20 අතර කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කැන්විල් හෝල්ඩිං සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති පුද්ගලික සමාගමක යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සේදර සෙනරත්ට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන පුද්ගලයින් සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත.