බැඳුම්කර වංචාවට සැකකරුවකු ලෙස මහබැංකුවේ ජ්යේ.නි.අ. නන්දලාල් නම් කරන්නැයි අර්ජුන් ඇලෝශියස් ඉල්ලයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්රී ලංකා මහබැංකුවේ ජ්යේෂ්ඨ නියෝජ්ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්රාමික නියෝජ්ය අධිපති ආනන්ද සිල්වා යන අය සැකකරුවන් ලෙස නම් කරන්නැයි ඉල්ලමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත අද (24) මෝසමක් ඉදිරිපත් කෙරිණි. ඒ, එම නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෝසම ගොනුකර තිබුණේ මෙම නඩුවේ දෙවන සැකකරු වන අර්ජුන් ඇලෝශියස් විසිනි.
මෝසම ඉදිරිපත් කරමින් අර්ජුන් ඇලෝශියස් මහතාගේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ශ්රී ලංකා මහබැංකුවේ ජ්යේෂ්ඨ නියෝජ්ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්රාමික නියෝජ්ය අධිපති ආනන්ද සිල්වා යන අය මෙම බැඳුම්කර වංචාවට වගකිව යුතු බව ඒ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් සිය වාර්තාවෙහි සඳහන් කර ඇති බවයි.
එසේම මෙම විමර්ශනයට අදාළව විගණකාධිපතිවරයා විසින් ලබාදී ඇති ප්රකාශයක ද ඉහත කී දෙදෙනා බැඳුම්කර වංචාවට වගකිව යුතු බවට සෘජුවම කරුණු දක්වා ඇති බව ද අදාළ නීතීඥවරුන් විසින් අධිකරණයට දන්වා සිටින ලදී.
එහෙත් මේ දෙදෙනා සැකකරුවන් ලෙස නම්කර ඔවුන් අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් මඟහරිමින් සිටින බව පැවසූ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මෝසම සලකා බැලූ මහේස්ත්රාත්වරිය මෙම ඉල්ලීම විමර්ශන නිලධාරීන් ද සිටින අවස්ථාවක සලකා බැලිය යුතු බැවින් මීළඟට නඩුව කැඳවන ජනවාරි 25 වනදා එය නැවත ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.