ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සිරිසේන – මහින්ද දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධව පාර්ලිමේන්තු කොමිසමක් පත්කළ යුතුයි.

රට තුළ අති කළ දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කොමිසමක් පිහිටු විය යුතු බවත් අදාළ කොමිෂන් සභාව පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමටද තම පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අද(03) ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

“මේක රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයක්. මෛතී‍්‍රපාල සිරිසේනත්, මහින්ද රාජපක්‍ෂත් එක්වී බලය පැහැරගත් දේශපාලන කුමන්ත‍්‍රණයක්. එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණය අදාල බරින් තේරුම් ගත යුතුව තිබෙනවා. රනිල්, මහින්ද යාලූ මිත‍්‍රයන්වී කරට අත දා ගැනීමෙන් මෙම ප‍්‍රශ්නය කෙළවර කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ.

මෙවැනි රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණවලට පිළිතුරක් ලබාදිය යුතුයි. එනිසා මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට හවුල්වූවන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුව මැදිහත්වී පනතක් සම්මත කරගැනීමෙන් කොමිසමක් පත්කළ යුතු බව අපි අවධාරණය කරනවා.

එම කොමිසමේදී අපේ රටේ මාධ්‍ය ආයතන කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ සිට කි‍්‍රයාකිරීම සම්බන්ධයෙන්ද වගවිභාග කළ යුතුව තිබෙනවා. මෙවැනි දේශපාලන කුමන්ත‍්‍රණයක් සිදුවනව විට ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අපේ රටේ මාධ්‍ය ආයතන වැඩි ප‍්‍රමාණයක් සිටගත්තේ කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ.

ඒ වගේම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවේ ඇති වැදගත්කම දැන් සිදුවන සිදුවීම්වලින් යළි යළිත් තහවුරු වෙමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා. එම සංශෝධනය කඩිනමින් විවාදයට ලක්කොට සම්මත කරගත යුතු බව අපි මේ මොහොතේ අවධාරණය කරනවා.

ඉන් අනතුරුව මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට අනුව නව පාර්ලිමේන්තුවක් පත්කරගත යුතු බව අපි යෝජනා කරනවා. මෙම පාර්ලිමේන්තුවේ තව දුරටත් වෙනත් කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා සුදුසු තත්වයක් නැහැ. මින් පසු කවුරු ආණ්ඩු හැදුවත් අල්ලස්, වරදාන මඟින් ආණ්ඩු හැදීමක් සිදුවෙන්නේ.

එවැනි ආණ්ඩුවකට දිගු කාලයක් මේ රටේ පාලනය පවත්වාගෙන යාමට ඉඩ ලබාදිය යුතු නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මෙම දේශපාලන කුමන්ත‍්‍රණය සහමුලින්ම පරාජයට පත්කොට කුමන්ත‍්‍රණකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා කොමිසමක් පත් කිරීමත් ඉන් අනතුරුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පනත සම්මත කර ගැනීමත් කරගත යුතු බව අපි නැවතත් අවධාරණය කරනවා.

අපේ රට මේ තරම් විගඩම්කාරී විකටකාරී අරාජික තත්වයකට පත්කළේ ජනාධිපතිවරයා විසින්. ආර්ථිකය කඩාවට්ටලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කොට ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට හෑල්ලූවට ලක්කළේ ජනාධිපතිවරයා විසින්.

ඒ නිසා ඔහු කළ මෙම දේශපාලන අපරාධය සම්බන්ධයෙන් හෘද සාක්‍ෂියක් තිබෙනවා නම් ඔහු ජාතියෙන් සමාව ගත යුතු බව අපි අවධාරණය කරනවා. තව දුරටත් තමන්ගේ දේශපාලන කුමන්ත‍්‍රණය ඉදිරියට ගෙන යාමට උත්සාහ නොකොට ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන ලෙස අපි ජනාධිපතිවරයාට බලකරනවා.

එසේ නොකොට හිතුවක්කාරී ලෙස තවදුරටත් කි‍්‍රයා කරන්නේ නම් ජනාධිපතිවරයා නොහිතන පන්නයේ ජනතා නැගිටීම් සිදුවීමට ඉඩ ඇති බව අපි අවධාරණය කරනවා. එහිදී ජනාධිපතිවරයා නොහිතන පන්නයේ දේශපාලන ඉරණමකට ඔහුට මුහුණදීමට සිදුවන බවත් අපි අවධාරණය කොට සිටිනවා.

මේ රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට, නීතියට අනුව කටයුතු නොකොට ජනතාවට නීත්‍යානුකූළව කටයුතු කිරීමට උපදෙස් ලබාදීමට ඔහුට අයිතියක් නැති බවද අපි අවධාරණය කරන්න කැමතියි.“