ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වරෙන්තුකරුවකුට රැකවරණය දුන් ජනපති සිරිසේනගේ ගෝලයා විජේගුණරත්න අදත් රහස් පොලිසියට

කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයක් 11 දෙනකු පැහැරගොන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනපති සිරිසේනගේ ආරක්ෂාව හා රැකවරනය යටතේ කල්ගෙවන හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අදත් (27)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.  අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එදින අලුයම ඒ මහතා විදෙස් ගත වී තිබිණි.
කෙසේ වෙතත් හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ජනපති සිරිසේන ප්‍රසිද්ධීයේම ප්‍රකාශ කිරීම හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිවී තිබේ.

එම වටපිටාව තුල නැවත වරක් එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (27) උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස  දන්වල ලිපියක් පසුගියදා (23) යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වරෙන්තුකරුවකුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබියදී ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණය අවස්ථා කිහිපයකදී රහස් පොලිසියෙන් විමසීමක් කළේය. එහිදී ඔවුන් අධිකරණය හමුවේ පැවසුවේ ඉහල දේශපාලන නායකත්වය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වා ඇති බවයි.

අද්මිරාල් විජේගුණරත්න මහතාගේ නියෝග පිරිදි පිරිසක් තමාට තර්ජනය කර පහරදුන් බවට මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වන ලුතිනන් කොමදෝරු ලක්සිරි නම් නිලධාරියා ඉරිදා (25) කොටුව පොලිසියට පැමිණිලි කළ අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් මේවනවිට ආරම්භ වී තිබේ.

2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් සැකකරුට මැලේසියාවට පලා යෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

සැකකාර හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු තට්ටු අටකින් සමන්විත නාවික හමුදාවේ නිලධාරී නිවස්නයක තුන් වැනි මහලේ කාමරයක  නවාතැන්ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.  දිනක් එම සැකකරු නිලධාරී නිවස්නයේ විදුලි සෝපානයෙන් පහළට ගමන් කරද්දී නාවික හමුදාවේ ප්‍රධානියකු හමු වූ බවටත්, එහෙ මෙහෙ ගිහින් පොලිසියට අහුවුණොත් මට කරන්න දෙයක් නැහැ යනුවෙන් එම හමුදා ප්‍රධානියා කී බවටත් තවත් ලුතිනන් කමාන්ඩර්වරයකු සාක්කි දී ඇතැයි එම රහස් පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබ මේ වනවිට ජනාධිපතිවරයාගේ ආරක්ෂාව යටතේ කල්ගෙවයි..