ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි නඩුවේ විනිසුරුවන් 7න් 3ක් ගෝඨාභයගේ නඩු අහන්න බෑ කියූ අය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධීයැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකු ම ගෝටාබය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉල්ලා අස්වූ විනිසුරුවරුන් වේ. ඒ, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අළුවිහාරේ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් ක්‍රියාත්මක කෙරුණු විමර්ශන කිහිපයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගෝටාබය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ 2015 වසරේදීය. එය සලකා බැලූ පළමු දිනයේදී ඒ මහතාව අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණු අතර පෙත්සම් විභාගය අතරතුරදී ඊවා වනසුන්දර මහත්මිය සහ ඉහත නම් සඳහන් කළ විනිසුරුවරු පෞද්ගලික හේතූන් මත එම නඩු විභාගයෙන් ඉවත් වූහ.

2015 වසරේ මැයි 13 වන දින ගෝටාබය මහතාගේ පෙත්සම මුලින්ම සලකා බැලූ අවස්ථාවේදී බුවනෙක අළුවිහාරේ මහතා පුද්ගලික හේතුවක් මත ඉන් ඉවත් වූ අතර මැයි 25 වනදා තමන් පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. 2016 ජනවාරි 28 වන දින ප්‍රියන්ත ජයවර්ධන මහතා පුද්ගලික හේතුවක් මත එම පෙත්සම් විභාගයෙන් ඉවත් වූ අතර මෘදු ප්‍රනාන්දු මහත්මිය පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ 2018 ජුනි 01 වනදාය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් ආරම්භයේදී සලකා බැලුණේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් වන අතර මෙම සත් පුද්ගල විනිසුරු මඬුල්ල පත් කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය.

(LNW)