ජනපති සිරිසේන නිර්මානය කල දේශපාලන අර්බුදයට මාසයයි – අදත් පාර්ලිමේන්තුව යලි රැස්වෙයි
ජනපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මස 26වන දින අගමැති ලෙස පත්කිරීමෙන් ඇරඹි දේශපාලන අර්බුදයට මාසයක් කල් ගතවී ඇතත් මේවනතෙක් විසදුමක් කරා ලගාවී නොමැත. එවන් මතභේදාත්මක පසුබිමක් තුළ කල්තැබුණු පාර්ලිමේන්තුව යළිත් අද(27) පස්වරු එකට රැස්වීමට නියමිතයි. අද(27) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙතෙක් සකස් කර නොමැති බව නියෝජ්‍ය පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවල මහතා සදහන් කරයි.
පාර්ලිමේන්තුව අද පස්වරු එකට රැස්වීමට නියමිතව ඇති අතර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභාවාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කථානායකවරයාට විරෝධය පළකරමින් සභාවෙන් ඉවත්ව ගිය පසුබිමකදීය. ඔවුන් එලෙස විරෝධය පළ කළේ ‘පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට’ සාමාජිකයන් නම්කිරීමේදී එහි බහුතරය ආණ්ඩු පක්ෂයට ලබා නොදී එක්සත් ජාතික පෙරමුණ හා සමාන නියෝජිතයන් ගණනක් ලබාදීමට කථානායකවරයා ගත් තීරණයට විරෝධය පළ කරමින්ය. ඒ අනුව මහින්ද පාර්ශ්යවයේ මන්ත්‍රීවරුන් අද දිනයේ පාර්ලිමේන්තුවට රැස්වීමට සහභාගිවීම අවිනිස්චිතය.
අද දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය ආරාධිතයන් සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවිමට කටයුතු යොදා ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.