ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රවී කරුණානායකගේ දියණිය ඔනෙලා ලබන සදුදා (12) අධිකරණයට කැඳවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනිලා කරුණානායකට සියලු ලේඛන සහිතව ලබන සදුදා (12) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද( 09) නියෝගයක් නිකුත් කළේය.
මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ඉල්ලා තිබුණි.
ඒ අනුව පසුගිය 05 වැනිදා ප්‍රකාශයක් ලබාදීමට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ගිය බවත් ඇය සමඟ ඇගේ නීතිඥවරුන්ට එම දෙපාර්තුමේන්තු කාර්යාලය තුළ යාමට අවසර නොදීම හේතුවෙන් තම සේවාදායිකාව ආපසු හැරී පැමිණි බව ද ඇයගේ නීතිඥවරයා අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණිලි කර සිටියේය.
එවිට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එදින පෙරවරු 9.30 ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණෙන මෙන් ඔනිලා කරුණානායක නමැත්තියට දැනුම් දී තිබුනු බවය. එහෙත් ඇය එදින පෙරවරු 9.08 ට රහස් පොලිස් කාර්යාලයට පැමිණ ආපසු හැරී ගොස් තිබූ නිසා ප්‍රකාශය සටන් කර ගැනීමට නොහැකි වූ බව එම දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේය.
එ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඔනිලා කරුණානායක නමැත්තියට සියලු ලේඛන සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ නියෝගයක් නිකුත් කළේය.