තාජුඩීන්ගේ ඝාතනයට යොදාගත් ශිරන්තිගේ ඩිෆෙන්ඩරය ගැන අධිකරණය රස පරික්ෂක වාර්තාවක් ඉල්ලයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ(2012) ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට යොදාගත් අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වූ “සිරිලිය සවිය” වැඩසටහනට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයේ මානව ජෛව කොටස්, වෙඩි ද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඊයේ (19) නියෝග කර තිබේ.
තම දෙපාර්තමේන්තු භූමියේ ගාල්කර ඇති මෙම ඩිෆෙන්ඩර් රථයේ මානව ජෛව කොටස්, වෙඩි ද්‍රව්‍ය සහ ඇඳුම් කොටස් අන්තර්ගත වී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා ලවා පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජනාධිපති ආර්යාව ලෙස කටයුතු කළ සමයේ ඇයගේ නායකත්වයෙන් ආරම්භ කර තිබූ සිරිලිය සවිය වැරඩසටහන සඳහා රතුකුරුස සංවිධානය මගින් ලබාදී තිබූ මෙම ඩිෆෙන්ඩර් රථය ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය පුද්ගලික පරිහරණය සඳහා භාවිතා කර පසුව වෙනත් නිවසක සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලදී.
මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට යොදාගත් මෙම රථයේ වර්ණයද විටින් විට වෙනස් කර ඇති බවද මීට පෙර අධිකරණයේදී කරුණු අනාවරණය වී තිබිණි.