විද්‍යා ඝාතකයින්ට පලායෑමට උදව්කල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්න නියෝග
යාපනය පුන්කුඩතිව්හිදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන්ට පළායාමට උපකාර කළ බව පවසන එවකට යාපනය පොලීසියට අනුයුක්තව සේවය කළ සුන්දරේශන් ශ්‍රිගජන් නමැති පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කයිට්ස් මහේස්ත්‍රාත් ඒ. ජුඩ්සන් මහතා නියෝග කළේය.
විද්‍යා ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වරදකරු වු ස්විස්කුමාර් නමැත්තා ඇතුළු පිරිස වෙත පළා යාමට උපකාර කළ බව කියන සිද්ධියේදී ශ්‍රිගජන් නමැති උප පොලිස් පරීක්ෂකවරයා අදාළ පිරිස් වෙත සෘජුවම උපකාර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.
විද්‍යා ඝාතනයේ සැකකරුවන්ට පළා යාමට උපකාර කළ බවට චෝදනා ලැබ තිබෙන උතුරු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා පොලීසිය වෙත මෙම නියෝග කළේය.
ශ්‍රි ගජන් පොලිස් නිලධාරියා අදාළ සිදුවීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර, සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලීසිය අධිකරණයට පැවසීය.
නඩු විභාගය ලබන 2019 වසරේ ජනවාරි මස 30 වැනිදා විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, නඩු විභාගයට අදාළ නීතිපති උපදෙස් විමසීමද කයිට්ස් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.