දුමින්ද සිල්වාට මරණ දඬුවම ස්ථිරයි..! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.
මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (21) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.
හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.