බොරු සාක්ෂි දුන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහට වැඩ වරදී..! අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුවේ..!
ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම් පිට අධිකරණයේදී බොරු සාක්ෂි ලබාදී ඇති බව රාඩා නඩුවේ විත්තියේ නීතීඥවරයා මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ ඒ අනුව දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා ඔහුට විරුද්ධව ඉදිරියේදී චෝදනා ගොනු කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරන බවය.
නඩුවේ චූදිතයෙකුවන LTTE සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියෙකු වූ එමිල් කාන්තන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා විත්තියේ හරස් ප්‍රශ්න යොමුකරමින් අධිකරණයට පෙන්වා දුන්නේ කමල් දේශප්‍රිය මහතා යන ආරූඪ නමින් පෙනී නොසිටින බවට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මීට පෙර නඩු දිනයේදී ප්‍රකාශ කළ බවය.
කෙසේ වෙතත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින්ම රචනා කළ ග්‍රන්ථයක් ඇසුරෙන් විත්තියේ නීතීඥයා ඔහුගෙන් යළිත් ප්‍රශ්න කළේ කමල් දේශප්‍රිය යන නමින් පෙනී නොසිටියේද යන්නයි.
එහිදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පිළිගත්තේ තමන් 88 – 89 භීෂණ කාලයෙන් පසු කමල් දේශප්‍රිය යන නමින් පෙනී සිටි බවය. ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ ඒ අනුව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදී ඇති බවය.
එම චෝදනාව සහ අධිකරණයට අපහාස කිරීම යටතේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට විරුද්ධව නඩු පවරන ලෙස නීතීඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියහ. එහිදී මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ ඒ සඳහා නිසි ඉල්ලීමක් සිදුකරන ලෙසය.
ඒ අනුව ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්‍රකාශ කළේ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදීම සහ අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීම සඳහා අවශ්‍ය ලේඛන මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන බවය.