ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

නොබෙල් සාම ත්‍යාගය යුධ බිමේ සිදුවන ස්ත්‍රී දූෂණයට එරෙහි ව සටන් වැදෙන ක්‍රියාකාරීන් දෙදෙනෙකුට

2018 නොබෙල් සාම ත්‍යාගය මෙවර හිමිකරගෙන සිටින්නේ යුධ බිමේ සිදුවන ස්ත්‍රී දූෂණයට එරෙහි ව සටන් වැදෙන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නාදියා මුරාඩ් සහ ඩෙනිස් මුක්වාග් හට ය. මේ අතරින් නාදියා මුරාඩ් වෙත වැඩි ලෝක අවධානයක් යොමු ව තිබෙන්නේ, ඇය 2016 වසරේදී ඉරාකයේ මෝසුල් නුවරින් පළා විත්, BBC පුවත්සේවය සමග සිය සම්මුඛ සාකච්ඡාව නොබියව ලබාදුන් යුවතියක වූ බැවිනි.

ඉරාකයේ යැසිදි ගෝත්‍රයට අයත් නාදියා මුරාද්, ඉස්ලාමී රාජ්‍ය හමුදාව හෙවත් අයි එස් භටයන් විසින් වධහිංසා පමුණුවා දූෂණයට ලක් කරන ලදී. පසුව ඇය යැසිදි ජනතාවට සිදුවූ අයුක්තියේ දෝංකාරය බවට පත්වූවාය.

මේ අතර ඩෙනිස් මුක්වාග්, කොංගෝ ජාතික නාරිවේද විශේෂඥයෙකු වන අතර, ඔහු සිය සගයන් සමග එක්ව කණ්ඩායමක් වශයෙන් සංවිධානය වී යුද්ධයේ වින්දිතයන් දහස් ගණනකට ප්‍රතිකාර ලබා දී තිබේ.

මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයන් සහ ආයතන 331 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී නිවේදනය කෙරුණු මෙම නොබෙල් සාමත්‍යාගයේ හේතු පාඨය වශයෙන් නොබෙල් කමිටුව පැවසුවේ ‘‘යුද්ධයේ ආයුධයක් වශයෙන් ස්ත්‍රී දුෂණය යොදාගැනීම අවසන් කිරීමට මේ දෙදෙනා ගත් උත්සාහයන් වෙනුවෙන්‘‘ මෙම ත්‍යාගය පිරිනැමෙන බවයි. එසේම ‘‘එබඳු යුධ අපරාධවලට අවධානය යොමු කරවා ගැනීමටත් ඒවාට එරෙහිව සටන් වැදීමටත් තීරණාත්මක දායකත්වයක්‘‘ ඔවුන් විසින් ලබාදුන් බව ද එහි සඳහන් වේ.

නාදියා මුරාද් අද 25 හැවිරිදි ය. ඇය, ඉස්ලාමීය හමුදා භටයන් විසින් මාස 3 ක කාලයක් ලිංගික වහලියක් ලෙස තබාගෙන තිබිණි. ඇයව කිහිප වරක් විකුණා දැමීම ද සිදුවිය. 2014 නොවැම්බරයේ අයිඑස් ග්‍රහණයෙන් මිදී යාමට සමත් වූ නාදියා, ඉන් අනතුරුව තම මුළු ජීවිතයම කැප කරමින් සිටින්නේ තමන්ට සිදුවූ අයුක්තිය මේ ලෝකයෙන් තුරන් කිරීම සඳහා ය.