ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නේ නැහැ – රජය කියයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කරයි.රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දක්වා තිබේ.

ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය ප්‍රකාශයක් බව එම නිවේදනයේ දක්වා තිබේ.

2009 මැයි 28 දින එවකට නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක්  මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබේ. එම පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමේ දී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බව අනාවරණය වී ඇති බවත් මෙම පරීක්ෂණය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බවද එම නිවේදනයේ දැක්වේ.

නමුත් පසුගිය රජයේ පාලනයට අවාසිදායක යැයි හැඟෙන ඇතැම් කරුණු හෙළිදරව් වීමේ පසුබිම තුළ පරීක්ෂණ කටයුතු ක්‍රමයෙන් අක්‍රීය කිරීමට පසුගිය රජය කටයුතු කළ බවද නිවේදනයේ දැක්වේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

“පසුගිය දිනවල විපක්ෂය සහ ඔවුන්ගේ මතය සමාජගත කිරීමේ කාර්ය ඉටුකරමින් සිටින විවිධ පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා ”ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරයකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක්” පිළිබඳ දැඩි ප්‍රචාරයක් ලබාදෙමින් ”වත්මන් රජය රණවිරුන් දඩයම් කරන බව” ට මතයක් නිර්මාණය කිරීමට උත්සාහ ගත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පවසයි. 

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළයුතුව ඇත. මන්ද වත්මන් රජය පත්වූ දා සිට මේ දක්වා ආරක්ෂක අංශවලට හෝ එහි නිලයන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ අයුතු චෝදනාවක් හෝ සිදු කොට නොමැති පසුබිමක් තුළ වත්මන් රජයට එල්ලවන මේ චෝදනාව බලපතල සහ සම්පූර්ණ සාවද්‍ය එකක් වන බැවිනි.

2009 මැයි 28 දින එවකට නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක් අනුව එදා හිටපු පොලිස්පතිවරයාගේ නියෝගය මත 2009 සැප්තැම්බර් 10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එම පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමේ දී හෙළිදරව් වූ කරුණු අනුව කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බව අනාවරණය වී තිබුණි.

මෙම පරීක්ෂණය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ය. නමුත් සිය පාලනයට අවාසිදායක යැයි හැඟෙන ඇතැම් කරුණු හෙළිදරව් වීමේ පසුබිම තුළ පරීක්ෂණ කටයුතු ක්‍රමයෙන් අක්‍රීය කිරීමට එදා පාලකයන් පසුබට නොවූණි.  එවැනි පසුබිමක් තුළ ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ දී මෙම අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳ බරපතළ කතිකාවක් නිර්මාණය විය.

ඒ අනුව  නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවට එදා පැවැති රජය ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දුවක් ලබාදුන්නේය. එකී පොරොන්දු ප්‍රකාරව 2014 අප්‍රේල් මස නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

ඒ අනුව අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශණ කටයුතු සිදුකිරීමේ දී එහි ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ, නාවුක හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හා ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි හෙවත් ”නේවි සම්පත්” යන අයවලුන්ය. 

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර ඇති නමුත් නේවි සම්පත් යන අය පසුගිය කාලය පුරා අධිකරණය මගහැර සිටියේය. ඔහු 2018 අගෝස්තු 13 දින අත්අඩංගුවට ගන්නා ලදී.

නේවි සම්පත් යන අයට අධිකරණය මගහැර සිටීමට සහ/හෝ අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ඔහුට රැකවරණය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතාට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018.09.02  දාතම ලිපියක් මගින් දැනුම් දී තිබේ. 

නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට සුදානමක් පවතින බවය. එවැනි කිසිදු සුදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිබුණි.

පුද්ගලයන් 11 දෙනා පැහැරගැනීමේ විමර්ශනය 2009 සැප්තැම්බර් මස 10 දින ආරම්භ කළ පරීක්ෂණයක් බවත්, වත්මන් ආණ්ඩුව ආරම්භ කළ පරීක්ෂණයක් නොවන බවත් සිහිකැඳවිය යුතුය. එසේ තිබියදී එම පරීක්ෂණයේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතාගෙන් කරුණු විමසීමක් සිදුකිරීම රණවිරු දඩයමක් වන්නේ කෙසේදැයි විමසිය යුතුව ඇත.”

නීතීඥ සුදර්ශන ගුණවර්ධන

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්